brand logo

ඇවන්ගාඩ් නඩුවට එරෙහිව මූලික විරෝධතා මතු කෙරේ

17 December 2019

හික්කඩුව මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් හෝ නිසි අවසර පත්‍රයක් නොමැතිව ස්වයංක්රීය ගිනි අවි 816 ක් සහ උණ්ඩ 200935 ක් තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව චෝදනා 7574 ක් යටතේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ චෝදනා ඉදිරිපත් කර ඇති ආකාරය දෝෂ සහිත බව සඳහන් කරමින් විත්තිකරුවන් විසින් මතුකළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ජනවාරි මස 17 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (17) නියෝග කළේය. මෙම නඩුව අද ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන විනිසුරුවරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම විරෝධතා ඉදිරිපත් කරනු ලැබූහ. විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එම මූලික විරෝධතා වලින් සදහන් කර තිබුණේ මෙම නඩුවේ චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවයි. මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස ඇවන්ගාඩ් සමාගම ද නම්කර තිබෙන බව පෙන්වා දුන් විත්තියේ නීතිඥවරු සමාගමකට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියහ. ඒ අනුව මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව විත්තියේ නීතිඥවරු විසින් සිය මූලික විරෝධතා තුළින් පෙන්වා දී සිටියහ. මෙම මූලික විරෝධතා පිළිබඳව කරුණු විමසීමෙන් අනතුරුව ඊට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා මේ මස 27 වනදාට පෙර අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පැමිණිලි හා විත්ති පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්හ. ඉන්පසුව මෙම මූලික විරෝධතා පිළිබඳව නියෝගය ජනවාරි මස 17 දා ප්‍රකාශයට පත් කරන බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නිවේදනය කරන ලදී. මෙම නඩුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින විත්තිකරුවකු වන ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ දින ගිලන් රථයකින් අධිකරණයට රැගෙන විත් තිබූ අතර ඔහු අධිකරණ ශාලාව තුළට රැගෙන යනු ලැබුවේ රෝද පුටුවක ආධාරයෙනි. අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ විත්තිකාර සේනාධිපති මහතා මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරන ලදී. 2014 වසරේ අප්‍රේල් මස 7 වනදා සහ 2015 වසරේ ඔක්තෝබර් මස 6 වනදා අතර කාලසීමාව තුළ හික්කඩුව මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් හෝ නිසි අවසර පත්‍රයක් නොමැතිව ස්වයංක්රීය ගිනි අවි 816 ක් සහ උණ්ඩ 200935 ක් තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව චෝදනා 7574 ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබේ. අධිකරණ වාර්තාකරු
 

More News..