brand logo

ඇමෙරිකා-ඉරාන අර්බුදයට මැදි නොවීමට ‘ඇක්සා’ හා ‘සෝෆා’ ආරක්ෂක ගිවිසුම් දෙක අහෝසි කරන්නැයි ජවිපෙ ජනපතිගෙන් ඉල්ලයි

11 January 2020

ඇමෙරිකාව ඉරානයට එරෙහිව ආරම්භ කර ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට විශාල ගැටලුවකට මුහුණ දීමට ඉදිරියේදී සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යවමින් දන්වා තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය සමග ශ්‍රී ලංකා රජය අත්සන් කර ඇති ‘ඇක්සා’ (ACSA) හා සෝෆා (SOFA) නමින් වන ආරක්ෂක ගිවිසුම් දෙක නිසා යුදමය කටයුතුවලදී ඇමෙරිකානු හමුදාවන්ට අවශ්‍ය කරන සේවා ලබාදීමට සිදුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ වරායන්, ගුවන් තොටුපොළවල්, ඉන්ධන, සන්නිවේදන පහසුකම් ලබාදීමට බැඳී සිටියි. එහිදී ඇමෙරිකානු හමුදාවන් රට තුළට පැමිණීමේදී කිසිදු පරීක්ෂාවකටද ඉඩ නොමැති අතර යුද ගුවන්යානා හා අනෙකුත් උපකරණ රැගෙන ඒමටත් අවස්ථාව ලැබේ. ඉරාකයේදී ඉරාන හමුදා නිලධාරියකු ඝාතනය කළේද 2014 දී ඉරාක රජය සමග ඇමෙරිකාව අත්සන් කළ සෝෆා ගිවිසුම මගින් ලැබී ඇති පහසුකම් මත එම රට තුළ සිටිමින් බව එම ලිපියේ සඳහන් වේ. මෙම තත්ත්වය මත මැදපෙරදිග වර්ධනය වෙමින් පවතින යුදමය තත්ත්වයට ශ්‍රී ලංකාව මැදි නොවී රටේ ජාතික ආරක්ෂාව හා ස්වෛරීභාවයට තර්ජනයක්ව පවතින සෝෆා ගිවිසුම හා ඇක්සා ගිවිසුම වහාම අහෝසි කරන ලෙසට ජවිපෙ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. ඒ සඳහා පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවට සහාය පළකරන බවද එම ලිපියේ සඳහන් වේ. චමින්ද සේනාරත්න
 

More News..