brand logo

ඇමෙරිකානු මරණ දඬුවමේ කළු සුදු කතාවක්

07 August 2019

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන පසුගිය දිනවල ලංකාවේ ද ඉතා උණුසුම් ආන්දෝලනයක් ඇති වූ බව රහසක් නොවේ. එයට මග පෑදුණේ මරණ දඬුවම නියම වී සිටින අපරාධකරුවන් කිහිප දෙනකු සම්බන්ධයෙන් එම දඬුවම ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බැව් ජනාධිපතිවරයා පැවසීමත් සමගය. අපේ රටේ ඇති වූ තත්ත්වයට සමාන තත්ත්වයක් මේ වනවිට ඇමෙරිකාවේ ද මතු වී තිබෙනු දැකිය හැකිය. ඇමෙරිකාවේ නීතිපතිවරයා වන විලියම් බා(ර්) පසුගිය දිනෙක නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ අපරාධකරුවන් පස් දෙනකුට මරණ දණ්ඩනය ලබා දීම සඳහා කටයුතු සූදානම් කරන ලෙස තමුන් එරට බන්ධනාගාර කාර්යාංශ බලධාරීන්ට දැනුම් දී ඇති බවයි. මෙම නිවේදනය නිකුත් කිරීමත් සමග ලංකාවේ මෙන්ම ඇමෙරිකාවේ ද විශාල ආන්දෝලනයක්, සංවාදයක් ඇති වී තිබෙනු දැකිය හැකි වෙයි. මෙම තීරණයට පක්‍ෂව මෙන්ම විරුද්ධව ද බොහෝ දෙනා මේ වනවිට මත පළ කරන්නටත්, යම් යම් ක්‍රියාමාර්ග ගැනීමටත් පටන්ගෙන තිබේ. මෙම තීරණයෙහි ඇති විශේෂත්වය වන්නේ ඇමෙරිකාව ජාතික මට්ටමෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යන්නේ වසර 16 කට පසුව වීමයි. ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගියේ ප්‍රධාන වශයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් ඉලක්ක කරමිනි. නමුත් ඇමෙරිකාවේ තත්ත්වය එය නොවේ. එහි මෙම දඬුවම ක්‍රියාත්මක කිරීමට යන්නේ, ප්‍රධාන වශයෙන්ම ළමුන් සහ ස්ත්‍රීන් දූෂණය කළ සහ ඝාතනය කළ අපරාධකරුවන් සම්බන්ධයෙන් බව වාර්තා වෙයි. එමෙන්ම වියපත් පුද්ගලයන් ඝාතනය කළ අපරාධකරුවන් ද මෙයට ඇතුළත් වන බව සඳහන් ය. මෙම වසරේ දෙසැම්බර් සහ ලබන වසරේ ජනවාරි යන මාසවල ඉහත කී රැඳවියන් පස්දෙනකුට මරණ දඬුවම ලබා දීමට සැලසුම් කර තිබේ. නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීමට අධිකරණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත්, අධිකරණ පද්ධතියෙන් ලබා දී ඇති දඬුවමක් ක්‍රියාත්මක කිරීමේ වගකීම තමුන්ට ඇති බවත් නීතිපතිවරයා තවදුරටත් පවසා ඇත. ඇමෙරිකාව තුළ ජාතික මට්ටමෙන් අවසන් වරට මරණ දඬුවම ලබා දී ඇත්තේ 2003 වසරේ ය. එම අවස්ථාවේ මරණ දණ්ඩනයට ලක් වූයේ 53 හැවිරිදි හමුදා නිලධාරියෙකු වූ ලුයී ජෝන් (කනිෂ්ඨ) නැමැති පුද්ගලයායි. ඔහුට මෙම දඬුවම ලබා දුන්නේ ටේරසි ජෝයි මැක්බ්‍රයිඩ් නම් වූ හමුදා සෙබළියක දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙනි. 2001 වසරේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනාධිපතිවරයාගේ කාලයේ ලබා දුන් මරණ දඬුවමක් විශාල වශයෙන් ආන්දෝලනයට ලක්විය. එම අවස්ථාවෙහි මේ ආකාරයෙන් මරණයට පත් කරන ලද්දේ තිමති මැක්වේ නැමැති අපරාධකරුවෙකි. 1995 වසරේ ඔක්ලහෝමා නගරයේ බෝම්බ පිපිරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබා තිබිණි. මෙම සිදුවීමෙන් 168 දෙනකු මරණයට පත් වූ අතර විශාල පිරිසක් තුවාල ලැබූහ. 2001 වසරේ ජුනි මාසයේ උදෑසනක, එවකට 33 හැවිරිදි වූ මැක්වේ ට මරණ දඬුවම ලබා දුන්නේ ඉන්ඩියානා ප්‍රාන්තයෙහි බන්ධනාගාරයක දී විෂ එන්නත් කිරීමෙනි. එම අවස්ථාවෙහි ඔහු ගේ දෑස් මහත් සේ විවරව තිබූ බැව් ද සඳහන් විය. මෙම සිදුවීම හා බැඳුණු තවත් විශේෂ කාරණයක් තිබිණි. එනම් මැක්වේ හට මරණ දඬුවම ලබා දෙන අන්දම බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අයගේ ඥාතීන්ට සහ එම සිදුවීමෙන් දිවි බේරාගෙන සිටි 200 ක පමණ පිරිසකට සීසීටීවී කැමරා මගින් දැකගන්නට සැලැස්වීමයි. මෙවර මරණ දඬුවම ලබා දීමේ දී එන්නත් කරන විෂ ද්‍රව්‍යවල වෙනසක් සිදු කරනු ඇති බව ද සඳහන් වේ. මෙයට කලින් මෙම දඬුවම ලබා දුන්නේ විෂ රසායනිකයන් තුනක් එන්නත් කිරීමෙනි. එම රසායනිකයන් වූයේ සෝඩියම් තියොපෙන්ටාල්, පැන්ක්‍යුරෝනියම් බ්‍රෝමයිඩ් සහ පොටෑසියම් ක්ලෝරයිඩ් ය. පළමු රසායනිකය මගින් සිදු කෙරුණේ අදාළ පුද්ගලයා සිහි විසඥ තත්ත්වයට පත් කිරීමයි. දෙවෙනි රසායනිකය මගින් ඔහුගේ මාංශ පේශීන් අඩපණ කිරීමක් සිදු විය. ඉන්පසු පොටෑසියම් ක්ලෝරයිඩ් මගින් හෘදයේ ක්‍රියාකාරිත්වය නතර කරනු ලැබිණි. කෙසේ හෝ වේවා, මෙවර මරණ දඬුවම ලබා දීමේ දී මෙම රසායනිකයන් තුන වෙනුවට එක රසායනිකයක් භාවිතා කිරීමට යෝජනා වී ඇති බව සඳහන් වේ. ජාතික මට්ටමෙන් ඇමෙරිකාව තුළ මෑත කාලයේ මරණ දඬුවම ලබා දීමක් සිදු නොවුණ ද ඇතැම් ප්‍රාන්තවල මරණ දඬුවම දිගටම ක්‍රියාත්මක කරනු ලැබිණි. මේ බොහෝ අවස්ථාවල එම දඬුවම ලබා දෙන්නේ එක්කෝ විෂ එන්නත් කිරීමෙනි. නැතහොත් විදුලි පුටුව භාවිතා කරමිනි. වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික මට්ටමින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට මුල පටන්ම කැමැත්ත දැක් වූ කෙනකු ලෙස සැලකිණි. ප්‍රශ්නය එය මෙතරම් පමා වූයේ මන්ද යන්න බවට ද ඇතැමුන් අදහස් දක්වා තිබිණි. ළමුන් දූෂණය කිරීම් සහ ඝාතන සම්බන්ධයෙන් පමණක් නොව මත්ද්‍රව්‍ය ජාවාරම සහ හමුදා/පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ඔහුගේ අදහස විය. මරණ දඬුවම මේ ආකාරයෙන් නැවත ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විශාල විරෝධතාවක් ද මේ වනවිට මතුව එමින් ඇති ආකාරය දැකිය හැකි වෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටින අතර මෙය ඔහු සිය ඡන්ද දායකයන්ගේ ආකර්ෂණය දිනාගැනීම සඳහා සිදු කරන්නක් බවට චෝදනා එල්ල වෙයි. රට තුළ අපරාධ අඩු කිරීම ට්‍රම්ප් පසුගිය වතාවේ සිය ඡන්ද ව්‍යාපාරය තුළ ලබා දුන් ප්‍රධාන පොරොන්දුවකි. ඔහු අයත් වන රිපබ්ලිකන් පක්‍ෂය කවදත් මරණ දඬුවම සම්බන්ධයෙන් සහාය දැක් වූ පක්‍ෂයකි. මේ අතර ඇමෙරිකාවේ අධිකරණ ක්‍රියාදාමය තුළ පවතින විවිධ විෂමතාවන් නිසා මරණ දණ්ඩනය සාධාරණ ආකාරයෙන් ක්‍රියාත්මක නොවනු ඇති බවට ද අදහස් පළ වෙයි. විශේෂයෙන් ඇමෙරිකාවේ සුළු ජාතිකයන් පිරිසක් වන කළු ජාතිකයන් සහ ආර්ථික වශයෙන් පහළ ස්ථරවල සිටින ජන කොටස් මෙහි දී වැඩි වශයෙන් දඬුවමට ලක්විය හැකි බවට මත ඉදිරිපත් වෙයි. ඇමෙරිකාවේ සිටින කළු ජාතිකයන් ප්‍රතිශතය සියයට 12 ක් වුවත් පසුගිය කාලයේ මරණ දඬුවම ලබා දුන් අයගෙන් සියයට 42 ක් ඔවුන් බව පැවසේ. ඉදිරියේදී ද මරණ දණ්ඩනය ක්‍රියාත්මක වුවහොත් මෙවැනි ‘අසාධාරණයන්’ සිදුවිය හැකි බව බොහෝ මානව හිමිකම් ක්‍රියාකාරිකයෝ පෙන්වා දෙති. මේ වනවිට ජාතික මට්ටමේ අධිකරණවලින් මරණ දඬුවම නියම වූවන් 62 දෙනකු සිටින බව වාර්තා වෙයි. 2003 වසරේ බොස්ටන් නගරයේ මැරතන් තරගයක් අතරතුර බෝම්බයක් පුපුරවා හැරි පුද්ගලයා ද මේ අතර වෙයි. මෙම 62 දෙදෙනා අතරින් 26 දෙනකු කළු ජාතිකයන් වන අතර 27 ක් සුදු ජාතිකයන් ය. සත් දෙනෙකු ලතින් ඇමෙරිකානුවන් ය. එයට අමතරව එක් ආසියානුවෙක් ද, එක් ආදිවාසී ඇමෙරිකානුවෙක් ද සිටිති. මේ වනවිටත් ඇමෙරිකාවේ ප්‍රාන්ත 29 ක ප්‍රාන්ත මට්ටමෙන් මරණ දඬුවම ක්‍රියාත්මක වෙයි. මේ අතරින් වැඩි වශයෙන්ම මෙම දඬුවම ක්‍රියාත්මක කර ඇත්තේ ටෙක්සාස් ප්‍රාන්තයේ ය. සහන් වික්‍රමගේ
 

More News..