brand logo

ඇමැති හැරිසන්ගෙන් පොහොර සමාගම්වලට දෝස් මුරයක්

05 October 2019

ඔක්තෝබර් මස 15 වැනි දිනට ප්‍රථම, යාපනය, කිලිනොච්චි සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට සහනාධාර පොහොර තොග සපයන්නට අසමත් වුව හොත් පෞද්ගලික පොහොර සමාගම්වල බලපත්‍ර අවලංගු කර දමන බව ඇමැති පී. හැරිසන් සිය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමකදී පොහොර සමාගම්වලට දැනුම් දී තිබේ. මෙම කළ රැස්වීම සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලය, රාජ්‍ය සහ පෞද්ගලික පොහොර සමාගම්, ගොවිජන සේවා අංශ සහ කෘෂිකර්ම අමාත්‍යාංහය යන ආයතනවල උසස් නිලධාරීන් සහභාගි වී ඇත. මෙහිදී හැරිසන් ඇමැතිවරයා පැවසුවේ, උතුරු සහ නැගෙනහිර ඇතැම් දිස්ත්‍රික්ක සඳහා ‘මිශ්‍ර පොහොර’ හිගයක් හට ගෙන ඇති බවයි. එයින් එම පෙදෙස්වල වී නොවන භෝග වගාවන් අඩාළව ඇතැයිද, ඒ සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් වගකිව යුතු බවද ඔහු තදින් අවධාරණය කළේය. අනතුරුව ඇමැතිවරයා කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල සේවය කරන ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සිය අසුන්වලින් නැගිටින්නැයි අණ කළේය. ඊට පසුව ඔහු කියා සිටියේ ඔවුන්ගෙන් කොටසක් වහාම යාපනය, මුලතිව් සහ කිළිනොච්චි යන දිස්ත්‍රික්කවලට මාරු කරන බවයි. ඒ අනුව ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල නිලධාරීන් දෙදෙනකු බැගින්ද, කොළඹ සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල නිලධාරීන් එක් අයකු බැගින්ද වහාම ස්ථාන මාරු කරන බව පැවසුවේය. ඇමැතිවරයා කෝපයට පත්ව සිටි බැවින් රැස්වීමේ සිටියවුන් කිසිවෙක් මෙහිදී කතා කර නැත. රැස්වීම අවසන් වීමෙන් පසු ඇමැතිවරයා ඉක්මනින් පිටව ගොස් ඇත. මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පොහොර සමාගම් නිලධාරීන් පවසා සිටියේ සහනාධාර සඳහා තමන් මෙතෙක් සැපයූ පොහොර තොග වෙනුවෙන් දළ වශයෙන් රුපියල් බිලියන 07ක පමණ (රුපියල් කෝටි 7000ක් පමණ) මුදල රජයෙන් අයවිය යුතුව ඇති බවයි. ඒවා කලට වේලාවට නොලැබෙන බවත් මෙම තත්ත්වය නිසා ප්‍රධාන පෙළේ පොහොර සමාගම් 15ක් පමණ මහත් මූල්‍ය අර්බුදයකට පත්ව ඇති බවත් ඔවුහු පවසති. රජය හිඟ මුදල් නිසි කලට පියවන්නේ නැති බැවින් තමන් පොහොර තොග ආනයනය සීමා කළ බවද, එයින් උතුරු ප්‍රදේශයේ පොහොර හිඟයක් හටගත් බවද පොහොර සමාගම් නියෝජිතයෝ හෙළි කළහ. පොහොර සමාගම්වලට හිඟ හිටුවා ඇති මුදල් නොගෙවමින් මේ ආකාරයට තර්ජනය කිරීම, සදාචාරාත්මක නැති බවද ඔවුහු කියා සිටියහ. මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක මේ ආකාරයට නිලධාරීන් ස්ථාන මාරු කරන්නට යාම නොහොබිනා වැඩක් බව රැස්වීමට සහභාගි වූවෝ කතා වූහ. ක්‍රිෂ්ණ විජේබණ්ඩාර
 

More News..