brand logo

ඇමැති සෙට් එකම වැඩිය එළියට බහින්නේ නැතුව ඇත්තේ ජනතාවගෙන් ප්‍රහාරයක් එල්ල වෙයි කියලා

08 May 2019

‘තවුහිද් ජමාද් සංවිධානය හැදුවේ ගෝඨාභය’ යැයි කී ප්‍රකාශයට ප්‍රසන්න රණතුංගට හොඳටම කේන්ති ගොස් තිබිණි.“රාජිත කියනවා තවුහිද් ජමාද් හැදුවේ ගෝඨාභය කියලා... මුලින් කිව්වා බොදුබල සංවිධානය හැදුවේ ගෝඨාභය කියලා... පස්සේ කිව්වා ආවා කල්ලිය හැදුවේ ගෝඨාභය කියලා... දැන් කියනවා තවුහිද් ජමාද් හැදුවේ ගෝඨාභය කියලා... රටේ හැම දේකටම රාජිතලා ඇඟිල්ල දිගු කරන්නේ ගෝඨාභයට...’’ ප්‍රසන්න පැවසීය. “බෝම්බ ටික පුපුරලා සතියක් විතර යනකම් රාජිතලා සෙට් එක හැංගිලා හිටියා මොකද වෙන්නේ බලාගෙන... දැන් මිනිස්සුන්ට දුක අමතක වීගෙන යනකොට එළියට ඇවිත් සිද්ධිය වෙන පැත්තකට හරවන්න හදනවා... මොනවා වුණත් දැන් රාජිතලා කියන දේවල් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ...’’ ගම්මන්පිල පැවසුවේය. “රාජිත කියන්නේ කොහොමත් දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන මිනිහනේ... මිනිස්සු දන්නවා රාජිත කට ඇරියොත් කියන්නේ බොරු කියලා...’’ වාසු ප්‍රකාශ කළේය. “මම මුල ඉඳලම කිව්වනේ ආණ්ඩුව කොහොම හරි මේ සිද්ධියත් ඒකාබද්ධ විපක්ෂයේ ඇඟේ ගහන්න හදයි කියලා... දැන් ඒක ඇත්ත වෙලා තියෙනවානේ.... දැන් කරන්න ඕනේ මිනිස්සුන්ගේ තැලුණු හිත් සුවපත් කරන එක මිසක් මේ වගේ මාධ්‍ය සන්දර්ශන නෙමෙයි...’’ මහින්ද පෙන්වා දුන්නේය. “රනිල්ලට කොහෙද මිනිස්සු ගැන ගාණක් තියෙන්නේ... මිනිහට මිනිස්සු මතක් වෙන්නේ ඡන්දයක් එන කොට විතරයි. අනෙක් වෙලාවට තමන් ගැන විතරක් හිතන ආත්මාර්ථකාමියෙක්නේ රනිල් කියන්නේ...’’ ප්‍රසන්න කිවේය. “රටෙත් ජාතියෙත් අවාසනාවට තමයි මේ වගේ කට්ටියකට ආණ්ඩු බලය ගියේ... මිනිස්සුන්ටත් දැන් තේරෙනවා ඇති කරගත්තු මෝඩකම...’’ එතැන සිටි වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු ද පැවසුවේ ය. “අපිට දැන් ලැබිලා තියෙන ආරංචි හැටියට නම් මිනිස්සු ආණ්ඩුවත් එක්ක ඉන්නේ බොහොම කේන්තියෙන්... සමහරවිට ඇමැති සෙට් එකම වැඩිය එළියට බහින්නේ නැතුව ඇත්තේ ජනතාවගෙන් ප්‍රහාරයක් එල්ල වෙයි කියලා බුද්ධි අංශ වාර්තාවක්වත් ලැබිලා නිසාද දන්නේ නැහැ...’’ ප්‍රසන්න කීවේ සැවොම සිනහගස්සවමිනි.
 

More News..