brand logo

ඇමැති ප්‍රසන්න රණතුංගගේ ඇප කොන්දේසිය ඉවතට

25 September 2020

2015 වසරේ කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ගොඩ කර එහි සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීම සඳහා‍ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි ගොනුකර තිබූ නඩුවක විත්තිකරුවකු ලෙස නම් කර සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංගට සෑම මසකම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ වාර්තා කළ යුතු බවට පනවා තිබූ ඇප කොන්දේසියක් ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඊයේ (24) නියෝග කළේය. මෙම නඩුව ඊයේ මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට ඇප නියම කිරීමේදී අධිකරණය විසින් සෑම මසකම අවසන් ඉරුදින පොලිස් අපරාධ කොට්ඨාසයට වාර්තා කළ යුතු බව දන්වමින් ඇප කොන්දේසියක් පනවා තිබූ බව පෙන්වා දුන්නේය. ඒ අනුව 2016 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව සිය සේවාදායකයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට වාර්තා කර තිබෙන බවත් ඔහු නොකඩවා නඩු විභාග සඳහාද පෙනී සිටීමක්ද සිදුකර ඇති හෙයින් එම ඇප කොන්දේසිය ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ප්‍රසන්න රණතුංගගෙ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා, අමාත්‍යවරයා වෙත පනවා තිබූ ඇප කොන්දේසිය ඉවත් කිරීමට තීන්දු කළේය. ඉන් අනතුරුව නඩු විභාගය ඔක්තෝබර් මස 20දා තෙක් කල් දැමීමටද විනිසුරුවරයා නියෝග කළේය. අධිකරණ වාර්තාකරු
 

More News..