brand logo

ඇමැති පංචස්කන්ධය සහ නළාව

25 May 2019

පසුගිය බදාදා කොළඹ නගර ශාලාව වටා වූ පාර ආරක්ෂක ඇමැති පංචස්කන්ධය ආරක්ෂිතව ගෙන යාමට වැසූවෙන් පාරේ සිටි ජනතාව ඉතිහාසයේ කවරදාවත් නැති ආකාරයට නළා හඬවා ඝෝෂාවක් කළහ. ඒ නළා ඝෝෂාව ඇසූ විට සිහිවන්නේ ආණ්ඩු පන්නන්නට ජනතාව සංවිධානාත්මක කරන ජන ඝෝෂාය. මුලින්ම සාර්ථකව සංවිධානාත්මකව ජන ඝෝෂාවක් සිදු වූ බව කියැවෙන්නේ පිලිපීනයේය. ඡන්ද කල් දමමින් රටේ ආදායම් සූරා කමින් සිටි මාර්කෝස් පලවා හැරීම එහි අරමුණ විය. එදවස එරට බඩු මිල ඉසිලිය නොහැකි තරමට ඉහළ යන විට ගෘහණියෝ කළේ කුස්සියේ තිබෙන වළංවලට තඩි බා ඝෝෂා කර විරෝධය පෑමය. ඒ අනුසාරයෙන් මහින්ද රාජපක්ෂ ජනතාව මෙදා නළා හැඬ වූ තැනේම, ලිප්ටන් වටරවුමේම එදා යූඑන්පීයට එරෙහිව ජන ඝෝෂාවක් කළේය. මහින්ද එය කළේ රට පුරා ආධාරකරුවන් එක්කරගෙන, සංවිධානය කරගෙනය. එහෙත් කිසිවකුගේ ආරාධනයක්, ඉල්ලීමක් ඇණවුමක් නැතිව මෙදා ජනතාව ඒ වටරවුම අසල කළ ජන ඝෝෂාවට එදා තිබුණ ජන ඝෝෂාවෙන් අලගු තබන්නටවත් බැරිය. පාර වසා පොලිස් ආරක්ෂාව මැද ගෙන ගිය ඇමැති පංචස්කන්ධයට ඡන්දය දුන් අයද නළා හැඬවූ රථ පෙළෙහි ඉන්නට ඇත. යහපාලනය පැතුවෝ පොහොට්ටුවාදීන්, වාමාංශිකයෝ, බෞද්ධයෝ, කතෝලිකයෝ, මුස්ලිමුන්ද ඉන්නට ඇත. එහෙත් ඒ එකෙකුවත් අර වාහනේ යන්නේ තමන්ගේ එකෙකු යැයි හිතුවේ නැත. ජනතාවගේ මේ ස්වයං සිද්ධ ජනඝෝෂාවේ තරම තේරුම් ගත හැක්කේ ඇතැම් අර්බුදකාරී අවස්ථාවල සියලු විහාරස්ථානවල, දේවස්ථානවල ඝණ්ඨාර හඬවන්නැයි කියා ඉල්ලූ අවස්ථාවල දැක්වූ ප්‍රතිචාර අනුවය. එබඳු අවස්ථාවල ඝණ්ඨාරයක් හැඬවූවේ එහෙමත් තැනකය. මේ එක්වරම පැන නැගි ස්වයං සිද්ධ විරෝධයට හේතුව කිම. එයට හේතුව වෙන කිසිවක් නොව දේශපාලනඥයන් කෙරෙහි තිබෙන අප්පිරියාවය. විරෝධය, වෛරය නොව හරි වචනය අප්පිරියාවය, පිළිකුළය. එබඳු අප්පිරියා සහගත දෙයක් වූ විට මෙතෙක් ආණ්ඩුව දක්වා ඇති ප්‍රතිචාරවලට අනුව මෙවරද නළා නාද කිරීම තහනම් කිරීම, මේ පාර වැහුවේ අපේ අනුදැනුමකින් තොරව යැයි නිවේදනය කිරීම වැනි දෙයක් ආණ්ඩුව කරතැයි අතීත අත්දැකීම් අනුව ජනතාව සිතූහ. එහෙත් ඊට ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වූයේ මෙයින් මතු ප්‍රභූ වාහන පාර වසා යාම තහනම් කිරීමය. ඊට පසුදාම මුහුණු පොතේ ඊට මෙසේ ප්‍රතිචාර දක්වා තිබිණි. ‘‘ප්‍රභූවරු කව්ද ඕකුං. අපි පාර්ලිමේන්තුවට පත් කරලා යැව්ව හිඟන්නෝ. ඕකුං දැන් ඔහොම ගියාට එදා අපි යැව්වේ හිඟන්නෝ.’’ මේ කාරණා දෙස බැලීමේදී පෙනෙන්නේ දෙපැත්ත දෙපැත්තට හිතන ආකාරයය. තමන් ප්‍රභූවරු යැයි දේශපාලනඥයන් සිතූවද, ජනතාව සිතන්නේ ඔවුහු හිඟන්නන් බවය. මෙසේ වූයේ කවර හේතු නිසාද? චිරාත් කාලයක් මුළුල්ලේ දේශපාලනඥයන් කළ කී දෑ නිසා ඔවුන් ජනතාවගේ පිළිකුලට හේතු වුවත් මෑතක දේශපාලනඥයන්ගේ හැසිරීමේ තිබෙන අස්වාභාවික බව එයට ඉතා බලවත් සාධක සපයා ඇත්තේය. විසිඑක් වැනිදා පාස්කු ප්‍රහාරය ගැන හොඳ හැටියට දැන සිටියද නායකයන් තමන් බේරා ගත්තේ නැති බව ජනතාව දනිති. එතරම් බරපතළ වරදක් ජනතාවට කර තිබේද්දීත් ආණ්ඩුව ඊළඟ සතියේම ආරක්ෂක ලේකම් ඇතුළු වගකිවයුත්තන්ට සුඛෝපභෝගී වෙඩි නොවදින වාහන ගෙන ඒමට කැබිනට් පත්‍රිකාව අනුමත කර ගත්තේය. ඊළඟට මන්ත්‍රී විශ්‍රාම වැටුප වැඩි කිරීමට යෝජනාවක් ගෙන ආවේය. මළ ගෙවල්වල ශෝක කාලය ගෙවෙන්නටත් පෙර තම පවුල්වල මංගල්‍යයන් සුඛෝපභෝගී හෝටල්වල කළේ සාමාන්‍ය ජන විඥානයවත් නැතිවුන් පරිද්දෙනි. ඇතැම් රටවල මෙබඳු විපතක් සිදු වූයේ නම් කාලයක් යනතෙක් නායකයෝ කළු හැඳ තම පශ්චාත්තාපය පළ කරති. සියලු වෙළහෙළඳාම් ජීවනෝපායන් ඇසිරී එදිනෙදා වියදම සොයාගත නොහැකිව හිඳිද්දී මේ සියල්ල කළ ආණ්ඩුව ඊළඟ 10 වෙනිදා චාරිත්‍රානුකූලව තෙල් මිල යළි ඉහළ දැම්මේය. ජනතාව ගල්වලින් ගහන්නට බැරි නිසා නළාවෙන් ගැසුවේය. ඊළඟට සිද්ධ වන්නේ දේශපාලනඥයන්ව රූපවාහිනියෙන් පෙන්වන විටත් ජනතාව ඊට හූ කීමය. හැන්ද මාලුපිණි රස නොදන්නාක් සේ අපේ කාලේ ප්‍රභූවරු ද තමන්ටම බෙදා ගන්නවා විනා ජනතාව අනුභව කරන දුක්වල රහ නොදනිති. කොටින්ම ජනතාව කන කට්ටේ රහ නොදනිති. එසේම මේ ආණ්ඩුවේ මැති ඇමැතින්ට එරෙහිව හැඬවූ නළාවක් යැයි අද විරුද්ධ පක්ෂයේ අය සිතුවොත් ඔවුන් බිහිරිය, අන්ධය.
 

More News..