brand logo

ඇමැති නියෝග කඩමින් පිළිකා ඖෂධ ගිනි ගානට ගන්න යයි

05 October 2019

පිළිකා නාශක ඖෂධ තොග වශයෙන් මිලදී ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද සහ සෞඛ්‍ය ඇමැතිගේ නියෝගද නොතකා පිළිකා ඖෂධ තොගයක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඇණවුමක් දී ඇත. පිළිකා රෝගී ප්‍රතිකාර සඳහා බහු ජාතික සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද ‘‘Pertu Zumab’’ නමැති ඖෂධය එකක් රුපියල් ලක්ෂ පහමාර (5.5) බැගින් රුපියල් මිලියන 40ක ඖෂධ මිලදී ගැනීමෙන් පසු එවැනි අධික මුදලකට ඖෂධ මිලදී නොගන්නා ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. 2019 මාර්තු 25 වැනි දින මාතලේ ඔසුසල ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ සෞඛ්‍ය ඇමැතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත. ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පිළිකා ඖෂධ තොග වශයෙන් මිලදී ගැනීමේදී එක් එන්නතක් රුපියල් අනූපන්දහසක (95,000) උපරිමයක් යටතේ මිලදී ගත යුතු බව සඳහන් කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබේ. එහෙත් සෞඛ්‍ය ඇමැතිවරයාගේ උපදෙස් සහ ගැසට් නිවේදනය උල්ලංඝනය කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඉහළ නිලධාරියකුගේ මැදිහත් වීම මත එක් එන්නතක් රුපියල් ලක්ෂ පහමාර (5.5) බැගින් එන්නත් දෙසිය විසිඅටක් (228) ගෙන්වීම සඳහා ඇණවුමක් ලැබී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මෙම ඇණවුම් භාර ගෙනද තිබේ. මෙම එන්නත් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන එකසිය විසිහතරක් (124) පමණ වැය වෙනු ඇත. උදයජීව ඒකනායක
 

More News..