brand logo

ඇමැති නාමල් මන්ත්‍රී ඉඳුනිල්ගෙන් කෝටි 4ක එල්.පී.එල්. බිල ඉල්ලයි

07 January 2021

එල්.පී.එල්. තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ රජයේ මුදල් වැය නොකරන බව පැවසුවද, ඒ සඳහා ක්‍රිකට් බලධාරීන් හා රියදුරන්ගේ ආහාරපාන හා නවාතැන් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ෂැංග්‍රිලා හෝටලයට රුපියල් හාරකෝටි දාහත් ලක්ෂ හැට අටදහස් හාරසිය අනූ අටක් ගෙවා ඇතැයි විපක්ෂ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ඊයේ (06) පාර්ලිමේන්තුවේදී තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂට දැනුම් දුන්නේය. ඊට අදාළව ක්‍රිකට් ආයතනය විසින් ෂැංග්‍රිලා හෝටලයට මුදල් ගෙවූ බිල්පතක් තමන් සතුව ඇතැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. අදාළ බිල්පත තමන් වෙත ලබා දෙන ලෙස මන්ත්‍රීවරයාට පැවැසූ ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බවද පැවැසුවේය. තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට අනුව ෂැංග්‍රිලා හෝටලයේ නවාතැන් හා ආහාරපාන සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට රුපියල් එක්කෝටි පනස් හත්ලක්ෂ නවදහස් තුන්සිය අසූ නවයක් වැයකර ඇත. ක්‍රිකට් ආයතනයේ රියදුරන් නමින් හඳුන්වා ඇති පිරිසකට රුපියල් පනස් පන් ලක්ෂ හැට තුන් දහසක්ද, යුද හමුදා ආහාරපාන සඳහා රුපියල් දහතුන් ලක්ෂ හතළිස්පන් දහසක්ද, කණ්ඩායම්වලට පිටතින් ආහාර සැපයීමට රුපියල් දහඅට ලක්ෂ අසූ දහස් පන්සියයක්ද බිල්පතට එක්කර ඇතැයි මන්ත්‍රීවරයා කීය. උපාලි මනුකුලරත්න නමැත්තෙකුට රුපියල් එක් ලක්ෂ හැත්තෑ අට දහස් දෙසිය හතළිස් හයක්ද, කොදෙව් ක්‍රීඩක රසල් නමින් රුපියල් හැත්තෑ දහස් තුන්සිය අසූ දෙකක්ද ඇතුළත් කර ඇති සමස්ත බිල්පතේ වටිනාකම රුපියල් හාර කෝටි දාහත් ලක්ෂ හැට අටදහස් හාරසිය අනූ අටක් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. එල්.පී.එල්. තරගාවලියේ කණ්ඩායම්වල අයිතිය ආයතන පහකට විකුණා ඇත්නම් මෙවැනි බිලකට මුදල් ගෙවන්නේ කවුදැයි ඇසූ මන්ත්‍රීවරයා මෙම තරගාවලිය වෙනුවෙන් ඌව පළාත් සභාවද රුපියල් ලක්ෂ පන්සීයක් නිකුත්කර ඇති බව දැනගත හැකිවූ බව කීය. එල්.පී.එල්. තරගාවලිය වෙනුවෙන් පොරොන්දු වූ ඇමරිකානු ඩොලර් දාහත්ලක්ෂ හැත්තෑ පන්දහසක මුදල අනිල් මොහාන් යන අයගේ අයි.පී.ජී. නමැති ආයතනය හරහා ක්‍රිකට් ආයතනය වෙත ලැබී ඇත්ද, යන්න පවසන ලෙසත් තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. මන්ත්‍රීවරයා ක්‍රිකට් පිළිබඳ ප්‍රශ්නයක් අසද්දී තමන් සතුටුවූ බව කී ඇමැති නාමල් රාජපක්ෂ දකුණු අප්‍රිකානු සංචාරය සහ එහි තේරීම් කටයුතු පිළිබඳ මේ දිනවල සමාජ කතිකාවක් ඇතැයිද කීය. ක්‍රිකට් ගැන අසනවා වෙනුවට මන්ත්‍රීවරයා අසා ඇත්තේ බිලක් පිළිබඳව යැයි කී ඇමැතිවරයා එම බිල තමන්ට ලබා දෙන ලෙසත් එහි සත්‍යතාව පිළිබඳ සොයා බලන බවත් කීය. ඩුබායි මැරියට් හෝටලයේ ඩොලර් බිලියන දහ අටක බිලක් පාර්ලිමේන්තුවට රැගෙනවිත් මේ ආකාරයටම ප්‍රශ්න කළ බව සිහිපත් කළ ඇමැතිවරයා එල්.පී.එල්. තරගාවලියෙන් ක්‍රිකට් ආයතනයට ලාභයක් මිස පාඩුවක් නොවූ බව වගකීමෙන් යුතුව පවසන බවද කීවේය. එල්.පී.එල්. වෙනුවෙන් සියලු මුදල් මේ වනවිට ගෙවා ඇතැයි කී හෙතෙම ඒ වෙනුවෙන් ආණ්ඩුව හෝ ක්‍රිකට් ආයතනය මුදල් වැය නොකළ බවද කීවේය. අජිත් අලහකෝන්
 

More News..