brand logo

ඇමැති තලතාට බන්ධනාගාර කොමසාරිස්ට කෝටි එකහමාරක පගාවක් දෙන්න හදලා

01 September 2019

වැලිකඩ බන්ධනාගාරයේ සිට මත්කුඩු ජාවාරම් හා අපරාධ මෙහෙයවීමේ කරන පාතාල නායකයන් බූස්ස බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරිවලට මාරු නොකර වැලිකඩම රඳවා ගන්නේ නම් එක් සිරකරුවකුට රුපියල් ලක්ෂ පනහ බැගින් බන්ධනාගාර ඇමැතිනි තලතා අතුරුකෝරලට හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්. තෙන්නකෝන්ට ගෙවීමට කුඩු ජාවාරම්කරුවන් පිරිසක් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. සුසෙයි, ගෞතම්, සීලන් යන මත්කුඩු ජාවාරම් කරන සිරකරුවන් තිදෙනා මෑතකදී බූස්සට මාරු කර වෙන වෙනම සිරමැදිරි තුළ රඳවා ඇති අතර ඔවුන් තිදෙනා යළි වැලිකඩට මාරු කරන්නේ නම් එක් අයකුට ලක්ෂ 50 බැගින් රුපියල් කෝටි එකහමාරක් ගෙවීමට යෝජනා කර ඇත. මෙම යෝජනාව කර ඇත්තේ පාතාල නායකයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු පිරිසක් බව සඳහන්ය. වැලිකඩ රිමාන්ඩ්, සී.ආර්.පී. බන්ධනාගාරවල සිට කුඩු ජාවාරම් හා අපරාධ මෙහෙයවන එකසිය පනහක් දැනටමත් හඳුනාගෙන ඇති බවත්, එයින් බරපතළ ගණයේ විසිපස් දෙනකු මාරු කර යැවීමට තීරණය කර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්. තෙන්නකෝන් ‘‘සති අග අරුණ’’ට පැවසීය. වෙලේ සුදා, කන්ජිපානි. ඉම්රාන්, පොට්ටු නවුෆර්, වැන්නවුන් බූස්සට යැවීමට උපදෙස් දී ඇත්තේද ඔවුන් සිටින බන්ධනාගාරවල සිට ජාවාරම් සිදුකරන බවට ඇති තොරතුරු මතය. බූස්සේ සිරමැදිරි 42ක ඉතිරි පිරිස රැඳවීමට නියමිතය.
 

More News..