brand logo

ඇමැතිවරු දෙදෙනකුට කූරගලදී අං ඇද්දූ නිසා ඉරාජ්ගේ ලක්ෂ 10ක මුහුණු පොත තහනම්

13 July 2019

ඇමැතිවරු දෙදෙනකුට කූරගලදී අං ඇද්දූ නිෆේස්බුක් නොහොත් මුහුණු පොත දැන් මෙරට බලවත් මාධ්‍යයක් වී හමාරය. යහපාලන ආණ්ඩුව දෙතුන් වංගියක්ම එහි කටයුතු උනා දැමීමෙන්ම මේ බව තහවුරු වෙයි. ආණ්ඩුව අන්තිම වතාවට මේ මුහුණු පොත වහන් කරන ලද්දේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පසුවය. වයසක ගුවන්විදුලි, රූපවාහිනී සේවා බ්‍රේකින් නිවුස් දාන්නටත් පෙර මුහුණු පොතේ ත්‍රස්ත ප්‍රහාරයන් ගැන පළවුණේ රූප සටහන්ද සමගය. පසුගිය 10 වැනි බදාදා කොල්ලුපිටිය වොන්ඩර් හෝටලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකින් මුහුණු පොතේ තහනමක් ගැන ප්‍රවෘත්තියක් රට පුරා පැතිර යන්නට විය. එහෙත් පරහකට තිබුණේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වුණේ දේශපාලකයකු නම් නොවේ. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ ප්‍රධාන චරිතය වුණේ ගායක ඉරාජ් වීරරත්නය. මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉරාජ් වීරරත්න කෙළින්ම චෝදනා කරන ලද්දේ රජය තමන්ගේ ෆේස්බුක් පිටුව වාරණය කොට ඇති බවය ගායක ඉරාජ්ගේ ෆේස්බුක් තහනමට හේතුපාදක වූ කාරණය ඉරාජ් විස්තර කරන ලද්දේ මෙසේය. ‘‘මම කූරගල ගියා. එතැන අපේ බෞද්ධ සිද්ධස්ථානයක්නේ. නමුත් පන්සලට කිසිම පහසුකමක් නැහැ. පුරාවිද්‍යා භූමියේ අනෙක් අනවසර ඉදිකිරීම් ඔක්කොටම විදුලිය තිබුණා. හැබැයි පන්සලට විතරක් ලයිට් නැහැ. මගේ යූටියුබ් චැනල් එකෙන් මේකට විසඳුමක් දෙන්න බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා.’’ ඉරාජ් කියන පරිදි කූරගල පූජා ස්ථානයට ලයිට් දීමට අවසානයේ විෂය භාර අමාත්‍යවරයා තීරණය කොට ඇත. ඒත් ඒ සඳහා කූරගල යටිතල පහසුකම් දියුණු කරද්දී තවත් ප්‍රබල අමාත්‍යවරයකු ඊට එරෙහි වී ඇත. අන්තිමේදී කූරගල ලයිට් දෙන්නට බාධා කරන දේශපාලකයා ඒ සඳහා ලක්ෂ 500ක ප්‍රතිපාදනයක් දෙන්නට පොරොන්දු විය. අන්තිමට ඉරාජ්ට එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ ඔහු මේ රජයේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකු කෙටවූ බවය. ඉරාජ් තම ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් හෙළිදරව් කරන ලද්දේ තමන්ගේ ෆේස්බුක් පිටු 1500කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කර ඇති බවත්, ජනාධිපතිවරයා මේ ගැන කිසිවක් නොදන්නා බවය. සිකුරාදා හවස වනතුරුත් ඉරාජ්ගේ මේ ප්‍රවෘත්තිය අපේ ගරු ජනාධිපති නම් කියවූ බවක් අපට දැනගන්නට ලැබුණේ නැත. එතුමා එය පුවත්පත් මගින් දැනගත්තා නම් කරන ප්‍රකාශය ඊට පෙර කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයට වඩා නැගල යන අන්දමේ එකක් වනු නියතය. එහෙත් ගරු ජනාධිපතිතුමා ඉරාජ්ගේ තහනම ගැන සති අන්තය වනතුරුත් කතා නොකිරීමෙන් මෙරට ජනතාව ගන්නට සිටි ෆන් එකට උදැල්ලක් දැම්මේය. ඉරාජ් තම ෆේස්බුක් තහනම ගැන නොනවතින කතාවෙන්ම මෙරට සමාජයට එමගින් කොතරම් බලපෑමක් කළ හැකි දැයි වටහාගත හැකිය. ‘‘අපට කිසිදු දේශපාලනයක් නැහැ. සමාජ මාධ්‍ය මේ ෆේස්බුක් පිටු හරහා බොහෝ දේවල් කළා. එක් අවස්ථාවකදී පිළිකා රෝගීන් වෙනුවෙන් කතා කළා. ඥානසාර හාමුදුරුවන් නිදහස් කරගැනීම වෙනුවෙන් කතා කළා. ලංකාවේ තියෙන ප්‍රශ්න ලෝකයට කිව්වා. ලසිත් මාලිංග පවා අපි කරපු දේවල්වලට උදව් කළා. ඇමෙරිකාව, එංගලන්තේ, ඔස්ට්‍රේලියාව වගේ රටවල් ගොඩක ඉන්න ලාංකිකයෝ අපි කරපු දේවල්වලට උදව් උපකාර කළා. අපි කරපු දේවල් නිසා ෆේස්බුක් ඔස්සේ අපිත් එක්ක ලොකු පිරිසක් එකතු වුණා. ඒ නිසා අපි මර්දනය කරන්නද මෙහෙම කරන්නේ කියලා අපට සැකයක් එනවා. ඒ නිසා මේ ගැන හොයලා බැලුවා. ෆේස්බුක් එකේ ඥානසාර හාමුදුරුවන්ගේ නම ටයිප් කරන්න බැහැ. හාමුදුරුවන්ගේ ඡායාරූපයක් දාන්න බැහැ. ෆේස්බුක් එකේ වැඩ කරන ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් ඉන්නවා. ඔවුන් ගැන හොයලා බැලුවාම ඔවුන් එක්සත් ජාතික පක්ෂයට වගේම දකුණේ ප්‍රබල අමාත්‍යවරයකුට වැඩ කරපු අය. සිංහලෙන් තියෙන දේවල් මේගොල්ලෝ පරිවර්තනය කරනවා. මොවුන් තමයි මේ දේවල් ලෝකයට ගෙනියන්නේ. මේ දේවල් තීරණය කරන්නේ එම පිරිස. පක්ෂපාතී නැති ස්වාධීන පුද්ගලයන් මේ තනතුරුවලට පත් කරන්නැයි අපි ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා සිටිනවා. ෆේස්බුක් සමාගමේ මූලස්ථානය මේ දේවල් දන්නේ නැහැ. ඒ නිසා ෆේස්බුක් සමාගමේ මූලස්ථානයට කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ පිරිස ආණ්ඩුවට විරුද්ධ සියල්ල ඉවත් කරනවා. මේගොල්ලෝ මේ බලන්නේ අලුත් ඡන්ද, ෆ්‍රී වයිෆයි දෙනවා කිව්වාම රැවටුණු පිරිසක් ඉන්නවා. මේ අවුරුද්දේ අලුත් ඡන්ද ලක්ෂ 17ක් ඉන්නවා. ඉස්සරහට ජනාධිපතිවරණය එනවා. වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙනාවේ සමාජ ජාලා භාවිත කරන තරුණ පිරිස්. අද වැඩියෙන්ම කලකිරිලා ඉන්නෙත් මේ පිරිසමයි. ජනාධිපතිවරයා වගේම මේ ආණ්ඩුව විවේචනය කරන්නෙත් මේ පිරිසමයි. මේ විදියේ මර්දනයක් වෙනවා කියලා ෆේස්බුක් සමාගමේ මූලස්ථානයට කියන්න ඕනෑ. ෆේස්බුක් එකට දේශපාලනය ගේන්න එපා. ෆේස්බුක් එකේ රටේ නායකයෙක්, දේශපාලනඥයෙක්, ඇමැතිවරයෙක්, මන්ත්‍රීවරයෙක් විවේචනය කළාම වැරැද්දක් කළාම මෙහෙම කරන්න එපා. පෝස්ටර් ගහන්න එපා කියන එක අපේ අයිතියක්. ලොකු පිරිසක් සමාජ ජාල, ෆේස්බුක් හරහා එකතු වීම දේශපාලකයන්ට කරදරයක් වෙලා. ඒක නිසා තමයි ඔවුන් අපි මර්දනය කරන්න හදන්නේ. මේක රටේ තරුණ තරුණියන්ට ලොකු ප්‍රශ්නයක්. ෆේස්බුක් එක කියන්නේ නිදහස් තැනක්. අපට කැමති දෙයක් කියන්න, ලියන්න තියෙන තැන ෆේස්බුක් එක. ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටවත් ෆේස්බුක් එක පාලනය කරන්න බැහැ. ෆේස්බුක් කියන්නේ නිදහස් තැනක්. අද අපිට තවත් ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මෙවන් තත්ත්වයක් තුළදී මරාගෙන මැරුණු සහරාන්ලා කොහොමද එෆ්.බී. කැම්පේන් කළේ කාටවත් නොදැනෙන්න. ඒ අයගේ අන්තවාදය කළේ කොහොමද? ඒ අයගේ මතවාද වසර ගණනාවක් පැතිරුවා. මේක අපිට ලොකු ප්‍රශ්නයක්. නමුත් අද වනතුරු ඔවුනගේ එෆ්.බී. පිටු ගලවලා නැහැ. ඒ අයගේ හිස්ට්‍රියම එහි අන්තර්ගතව තියෙනවා. අද වන විට අබ්දුල් රාසික් කියන පුද්ගලයාගේ පික්ස්, වීඩියෝ තහනම් කරලද තියෙන්නේ? බුදුන් වහන්සේ මිනීමස් කෑවයි කියපු ඒ මනුස්සයාට ප්‍රශ්නයක් නැහැ. ඉදිරියට මැතිවරණ තියෙනවා. මම මේ ප්‍රශ්නය එෆ්.බී. හෙඩ් ක්වාටස් දක්වා ගෙනියන්න කටයුතු කරනවා.’’ ඉරාජ් වීරරත්න කියන්නේ තම ෆේස්බුක් පිටු තහනම සඳහා යොදාගෙන ඇත්තේ පේජ් හිට්ස් නමැති එෆ්.බී. ටූල් එකය. තමන් කිසිදු සමාජ විරෝධී කටයුත්තකට තමන්ගේ ෆේස්බුක් පිටුව යොදා නොගත් බවද ඉරාජ් වීරරත්න කියා සිටී. ෆේස්බුක් සමාගම දෙසින් බලද්දී එම සමාගම තවමත් ජීවත් වන්නේ ගල් යුගයේ යැයි සිතෙන්නේ මෙවැනි අවස්ථාවන්හිදීය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තේරුම් කාරක සභාව ඉදිරියේ Autopia Analytics  සමාගම දුන් සාක්ෂිවලින් ෆේස්බුක් සමාගමේ නිරුවත පැහැදිලි වේ. මේ ගැන දෙව්සිරි පී. හේවාවිදාන ලන්ඩන් නුවර සිට අරුණට පසුගියදා ලිපියක් එවමින් කරුණු දක්වා තිබුණි. එම ලිපියේ දෙව්සිරි මහතා ෆේස්බුක් කොම්පැනිය ගැන තබන්නේ මෙවැනි සටහනකි. ‘‘ඒ දවස්වල ශ්‍රී ලංකාවේ සිංහල-මුස්ලිම් ගැටුම් ඇතිවෙමින් තිබුණේ අපි Face Book  හිමිකාරයන්ට කිව්වා. අපිට තව සුමාන දෙකකින් සිංහල භාෂාව වෙනුවෙන් වෙනම මේ වගේ මෘදුකාංගයක් නිපදවලා ඔවුන්ට දෙන්න පුළුවන් කියා’’ ඒත් ඔවුන් අපිත් එක්ක වැඩ කරන්න කැමති වුණේ නැහැයි Mari Sanna  අධ්‍යක්ෂවරිය මුහුණු පොතට චෝදනා කරමින් ප්‍රකාශ කළාය. Utopia සමාගම යනු Artificial Intelligence තාක්ෂණය පිළිබඳ ලෝකයේ ඉහළතම විශේෂඥ සමාගමකි. (Artificial Intelligence යනු මිනිසුන් මෙන් සිතන්නට කියවන්නට පුළුවන් යන්ත්‍ර ක්‍රියාකරවන ඉතා සූක්ෂ්මතම මෘදුකාංග වර්ගයයි.) ඉරාජ් වීරරත්න කියන්නේ තමන්ගේ ෆේස්බුක් ගිණුම අත්හිටුවන්නට යොදාගන්නා ‘පේජ් හිට්ස්’ නමැති ටූල් එක බවය. එය ෆේස්බුක් කොම්පැනියේ වැඩ කරන ෆේස්බුක් ජාලයට සිංහලයෙන් මුදාහැරෙන දත්ත ඉංග්‍රීසියට පරිවර්තනය කොට ෆේස්බුක් ලොක්කන්ට පෙන්නන යුද පිටියේ ලොං ගිය දේශපාලකයන්ගේ බලාපොරොත්තුවක් බවද ඔහු කියයි. අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ නමද ඉරාජ් වීරරත්න තම ෆේස්බුක් තහනමට අදාළව එළිදරව් කරන්නේ මෙසේය. ‘‘ඇමැති පාඨලී චම්පික මහතාගේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක මහතාගේ චැට් කොන්වසේෂන් එකක් තියෙනවා. ඒකේ තියන්නේ පේජ් ඇඩ්මින් කෙනෙක් දාපු විදිහට. ‘හරි අයියේ පේමන්ට් එක කවදද වැටෙන්නේ’ එතකොට මාධ්‍ය ලේකම් කියනවා ‘නෙක්ස්ට් වීක්’ කියලා. ඊට පස්සේ කියනවා වැඩේ හරි, ඉරාජ්ගේ පේජ් එක ටී.ආර්.සී. එකට කියලා බ්ලොක් කළා කියලා. ඊට පස්සේ කියනවා මෛත්‍රී බ්ලොක් කළේ කියලා පේජ්වල ගස්සන්න නැත්නම් ඕක අපට කැරකෙයි කියලා. දැන් ඒ මාධ්‍ය ලේකම් ඊයේ සී.අයි.ඩී. පැමිණිල්ලක් දාලා තියෙනවා එයා සැක කරනවා කියලා ජනාධිපති මාධ්‍ය අංශය. ඒ අය තමයි මේ මඩ ව්‍යාපාරය කළේ කියලා. දැන් කොහොම හරි මේ මර්දනය හරහා එෆ්.බී පිටු 1500ක් ගලවලා තියෙනවා. අපි තවත් දේ පිළිබඳව සොයා බැලුවා. සමහර විට ජනාධිපතිතුමා දන්නෙත් නැතිව ඇති මෙහෙම මර්දනයක් වෙනවා කියලා. චම්පික ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් කියනවා මේ සිද්ධියට රජය සැක කරනවා කියලා. ඒ නිසා තමයි අපි ජනාධිපති පරීක්ෂණයක් පවත්වන්න කියලා ඉල්ලා සිටින්නේ.’’ එහෙත් ඉරාජ් වීරරත්නගේ ප්‍රකාශයට රජය වෙනුවෙන් කරුණු කියන්නට ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා තොරතුරු සංගමයයි. එම සංගමය පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් සෘජුවම පවසා සිටියේ ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව රජය ඉවත් කර නැති බවය. ශ්‍රී ලංකා තොරතුරු සංගමය සඳහන් කරන්නේ මේ ෆේස්බුක් තහනමට ෆේස්බුක් පරිශීලකයන් හෝ වෙනත් කණ්ඩායමක් විසින් ෆේස්බුක් වෙත සිදුකරන ලද වාර්තා කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස ෆේස්බුක් ආයතනය විසින් එම පිටුව ඉවත් කර ඇති බවත්ය. ශ්‍රී ලංකා තොරතුරු සංගමය තම නිවේදනයේ ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් තහනම ගැන තවදුරටත් කරුණු දක්වන්නේ මෙසේය. ෆේස්බුක් ආයතනයේ මාර්ගෝපදේශ පිළි නොපදින පිටුවක් ලෙස සලකා එම පිටුවට පිවිසීම අවහිර කර ඇති අතර මෙය ස්වයංක්‍රියව සිදුවන ක්‍රියාවලියකි. ඒ සඳහා කිසිදු ෆේස්බුක් නියෝජිතයකුට හෝ ලංකාවේ දේශපාලන පක්ෂයකට මැදිහත් විය නොහැකිය. පසුගිය රජය සමයේදී මෙන්ම වත්මන් රජයද ෆේස්බුක් පිටු සමූහ ඉවත් කිරීමට මැදිහත් වී තිබුණද ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් පිටුවට එවැන්නක් සිදුවී නොමැත. රජය මැදිහත් වී ෆේස්බුක් සමූහ හෝ පිටු ඉවත් කිරීමට කටයුතු කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වන අතර, එවැනි ඉවත් කිරීමක් සිදුව ඇත්තේ නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු සංගමය දැනුවත් කරන ලෙසත් එම නිවේදනයේ සඳහන් වේ. රජය මගින් අනෙකුත් දේශපාලන පක්ෂ සියල්ලමද ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල මාර්ගෝපදේශනයන් අවභාවිත කරන බවට නොබෝ දිනකදීම ඉතා වගකීමෙන් හෙළිදරව් කරන බව ශ්‍රී ලංකා තොරුතුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් පිටුව රජය ඉවත් කළ බවට වන චෝදනාව සෘජුවම ප්‍රතික්ෂේප කරමිනි. ගායක ඉරාජ් වීරරත්න තම ෆේස්බුක් තහනම ගැන කෙළින්ම චෝදනා කළ පුද්ගලයකු නම් අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක මහතාය. පසුදිනම ධනුෂ්ක විසින් ඉරාජ්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ඒ ගැන සොයා බලා පරීක්ෂණයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන ලදී. ධනුෂ්ක විසින් මේ ගැන තවදුරටත් තමන් වෙත එල්ල කළ චෝදනාව ප්‍රතික්ෂේප කළේ මෙසේය. ‘‘මම විශ්වාස කරන විදියට පුද්ගලයකුට හෝ රජයට කාගෙවත් පුද්ගලික ගිණුමක් වාරණය කිරීමට බැහැ. ඒ සඳහා පදනමක් තිබිය යුතුයි. රටේ ජාතික ආරක්ෂාවට, සංහිඳියාවට එෆ්.බී. හරහා ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් ක්‍රියා කරන්නේ වගකිව යුතු අංශ. ඒ වගේ දෙයක් කරන්නට පුළුවන් වන්නේ ඒ ආයතනයෙන් පත්කළ ලංකාවේ නිලධාරියාට. ඒ පුද්ගලයා දැන් ක්‍රියාත්මක වෙන්නේ ඉන්දියාවේ දිල්ලි නුවර ඉඳලා. මේ අයගේ චෝදනා ඇත්ත නම් ලංකාවේ එෆ්.බී. ගැන බලන්න ඉන්න නිලධාරියාව මෙහේ කවුරුන් හෝ පාවිච්චි කළා විය යුතුයි. එහෙම නැතිව එෆ්.බී. වගේ සිස්ටම් එකක් වෙනස් කරන්න කාටවත් බලයක් නැහැ.’’ ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් තහනම ගැන මෙරට සමාජයේ දැන් කතාබහක් ඇතිවී තිබේ. ඊටත් වඩා දේශපාලන භේදයකින් තොරව ඊට එරෙහිව දැන් පිරිස් පෙළ ගැසෙමින් සිටිනුද දක්නට ලැබේ. මෙය හුදෙක් ඉරාජ් වීරරත්න නම් හුදකලා චරිතයට වූ අසාධාරණයක් ලෙස නොව, සමස්ත සමාජයේම අයිතිවාසිකම්වලට කරන ලද වාරණයක් ලෙස මෙම සිද්ධිය කෙමෙන් සමාජගත වෙමින් පවතී. මේ ගැන ආචාර්ය චරිත හේරත් මහතා විසින් තබා ඇති සටහන අප කියවිය යුත්තකි. ඔහු පවසන පරිදි කලකට ඉහත රටක දියුණුව මනින ලද්දේ රටේ භෞතික යටිතල පහසුකම්වල නිර්මාණය වී ඇති ආකාරය අනුව බවය. ඊට ගුවන් තොටුපොළ, වරාය, විදුලිබලය වැනි භෞතික සම්පත්වල වර්ධනය උපකාරි විය. එහෙත් දැන් තත්ත්වය වෙනස් වී තිබේ. රටක් දියුණු සමාජ තත්ත්වයක් අත්කරගෙන තිබේදැයි යන කාරණය ගැන එම රටේ ඩිජිටල් යටිතල පහසුකම්වල ස්වභාවය කෙසේද යන කරුණු දැන් ප්‍රධාන සාධකයකි. එයින් කියැවෙන්නේ රටකට විදේශිකයන් පැමිණෙන්නේ රටේ ආරක්ෂාව, යටිතල පහසුකම් මෙන්ම ඩිජිටල් පහසුකම්වල තිබෙන වර්ධනය අනුවය. නවතම සමීක්ෂණයක් මගින් පෙනී ගොස් ඇත්තේ ලංකාවේ ජනගහනයට වඩා ප්‍රමාණයක් මෙරට ස්මාර්ට් දුරකථන ඇති බවය. ලක්ෂ 200කට ආසන්න ජනගහනයක් ඇති අපේ සිරි ලංකාවේ ඇති ලියාපදිංචිය සහිත ජංගම දුරකථන ගණන ලක්ෂ 280කට ආසන්නය. ලංකාවේ මේ වසරේ අන්තර්ජාල පරිශීලනය ලක්ෂ හැත්තෑවකට අධික බව හෙළිවී තිබේ. ඒ අතරින් ලක්ෂ හැටකට අධික පිරිසක් ජංගම දුරකථන මගින් සමාජ මාධ්‍ය පරිහරණය කරන බවද හෙළිවී ඇත. ඉරාජ් වීරරත්න කියන්නේ තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පරිශීලකයන් මිලියනයකට වැඩි බවය. ඒ අනුව පෙනී යන්නේ මෙරට සමාජ ජාල පරිශීලකයන්ගෙන් හයෙන් එකක් ඉරාජ් වීරරත්නගේ රසිකයන් බව නොවේද? මෙහිදී වැදගත් කරුණක් වන්නේ ඉරාජ් වීරරත්න කියන මේ ෆේස්බුක් රසිකයන් බොහොමයක් උදේට පත්තරයක් බලන හෝ සවසට රූපවාහිනිය බලන පිරිසක් නොවන බවය. දැන් මේ ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් තහනමත් සමග ඒත්තු යා යුතු ප්‍රබල සමාජ පණිවිඩයක් වන්නේ මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල මහා පෙරළියක් අපට නොදැනී සිදුවෙමින් පවතින බවය. ඊටත් වඩා ෆේස්බුකිය මේ සාම්ප්‍රදායික වයසක පත්තර, රේඩියෝ, ටීවී පසුකර ගොස් නව පරපුර වැලඳගෙන ඇති බව නොවේද? කලින් කී සාම්ප්‍රදායික ප්‍රවෘත්ති මාධ්‍යයක් ඇසුරු නොකළත් මේ නව පරපුර ඒවාටත් පෙර ප්‍රවෘත්ති ගැන යාවත්කාලීන වීම විස්මයක් වී හමාරය. කෙසේ නමුත් ඉරාජ් වීරරත්න නම් චරිතයේ ක්‍රියාකාරකම් සාම්ප්‍රදායික ටීවී, රේඩියෝ, පුවත්පත් තුළින් වාරණය නොකිරීමෙන් අපට නිහඬව ලබාදෙන පණිවුඩය ‘මුහුණු පොතේ’ ඇති බලවත්කම නොවේද? වජිර ලියනගේ
 

More News..