brand logo

ඇමැතිකම් නැති වුණාම නින්ද නොයන ලෙඩේ මට නෑ!

22 June 2019

එකවර මුස්ලිම්වරු ත්‍රස්තවාදීන් වීමේ මහා ඛේදවාචකය ගැන ඔබේ විග්‍රහය කුමක්ද? මුස්ලිම් ඉතා සුළු පිරිසක් හෝ එවැනි දේකට යොමුවීම අපට විශාල කම්පනයක්. ආගම මුවාවෙන් වෙනත් රටවල් හෝ බළල් අත් විසින් ඔවුන් මෙහෙයවා තිබෙනවා. මේ වැඩේට අති බහුතර මුස්ලිම් සහාය කිසිසේත්ම හිමි වන්නේ නැහැ. එල්ටීටීඊයට දෙමළ ජනතාවගේ සහාය ආවේ 83 කලබලවලින් පස්සෙයි. මේ අයටත් කලබල කරලා එවැනි සහායක් ලබා දීල රට විනාශ කරන්න දකුණේ අන්තවාදීන් උත්සාහ කළත් ඒක හරි නොයාම රටේ වාසනාවක්. ඒත් ආරක්ෂක අංශවල හා වගකිවයුතු අයගේ අවධානය දිගටම පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. සමහරුන්ට ඇමැතිකම් නැති වුණාම නින්ද යන්නෙත් නැහැ. ඔබට ඒ ‘‘ලෙඩේ’’ නැද්ද? අපොයි නෑ. මම තුන්පාරක් ඇමැතිකම් අත අැරපු, නැත්නම් ඇමැතිකම්වලින් ඉවත් කළ කෙනෙක් නිසා මේ ලෙඩේ මට නැහැ. තනතුරු තිබුණත් නැතත් ජනතාවට කළ හැකි සේවය මම දිගටම කරනවා. ප්‍රහාරයට අදාළව කරුණු සෙවීමට පත් කළ තේරීම් කාරක සභාවේදී ඔබට අවංකව ක්‍රියා කළ හැකි වේවිද? අපි හැමදාම වැඩ කරන්නේ හෘද සාක්ෂියට එකඟව නිසා ගැටලු ඇති වෙන්න හේතුවක් නෑ. පක්ෂ දේශපාලනය මෙතැන නැහැ. මම මෙවැනි කාරක සභා කීපයක මගේ වසර 25 ක පාර්ලිමේන්තු ජීවිතයේදී වැඩ කරලා අත්දැකීම් තියෙනවා. ඒත් හිටපු අග්‍ර විනිශ්චයකාර ශිරානි මැතිනියට එරෙහි හා මෙම කාරක සභාවට විපක්ෂය නැතිවයි කටයුතු කෙරෙන්නේ. කලින් එක දේශපාලන පළිගැනීමකට අදාළ බව කියලා එදා විපක්ෂය ආවේ නැහැ. ඒත් මෙවර කාරක සභාව රටටම එල්ල වූ ත්‍රස්ත අනතුරක් ගැන නිසා මේ විපක්ෂය මේක මග ඇරීම හරි නෑ. මේ කාරක සභාවේ අරමුණ ‘වගවීමේ බෝලය’ ජනාධිපතිතුමාගේ පැත්තට තල්ලු කිරීම බවට පවතින මතය ගැන ඔබ මොකද කියන්නේ? නැහැ. ඒක ඉතා වැරදි මතයක්. චූදිතයන් විය යුත්තේ කව්ද, ඇඟිල්ල දිගු විය යුත්තේ කාටද කියන එක නෙවේ. කාරක සභාවේ මූලිකම අරමුණ වැරදුණේ කොතැනද, යළිත් එවැන්නක් සිදු නොවීමට කළ යුත්තේ මොකද්ද කියලා නිර්දේශ සැකසීමයි. මෙවැනි කටයුතු රටේ අනාගතය වෙනුවෙන් කළ යුතුම දෙයක්. ඒත් මෙවැනි කාරක සභාවක් ඕන කියලා අත්සන් කරපු ප්‍රධානම විපක්ෂ, පක්ෂ දෙකක් මේකට නියෝජිතයන් එවන්නේ නැතිව ඉඳීම ඉතා කනගාටුදායක තත්ත්වයක්. එහෙම වුණා කියලා මේක නවත්වන්නේ නැතිව පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ තීන්දු අරන් ක්‍රියාත්මක වීම වටිනා දෙයක්. වැඩිපුර චෝදනා එල්ල වූ හිටපු ඇමැති රිෂාඩ් මෙම තේරීම් කාරක සභාවට කැඳවනවද? මම හිතන්නේ ඔහුට අදාළ කරුණු මේකෙ කතා කළ යුතු නැති බවයි. මම ඒක කාරක සභාවටත් මුලින් කිව්වා. මොකද විපක්ෂය නැතිව අපි මොන තීන්දු ගත්තත් එයාල ඒක ප්‍රතික්ෂේප කරාවි. විපක්ෂය කාරක සභාවට නොඑන්නේ තනිකරම පටු දේශපාලන හේතු උඩ බව පැහැදිලියි. මෙතැනදී එළිවෙන සමහර දේවල් නිසා තමන්ටත් අවාසි වේවි කියලත් යම් පක්ෂයකට නෑවිත් ඉන්න පුළුවන්. මෙතැනදී වුණෙත් ඒකද කියලා මට හිතාගන්න බෑ. පසුගිය මැතිවරණවලදී සහරාන් ත්‍රස්තයා සමග නැගෙනහිර බොහෝ පක්ෂ ගිවිසුම් ගසා ක්‍රියාත්මක වුණා. ඒ අතර මුස්ලිම් කොංග්‍රස් දේශපාලකයනුත් ඉඳීම ගැටලුකාරී නැද්ද? ඔය ත්‍රස්තයා හැම පක්ෂ එක්කම ගිවිසුම් ගහලා ඡන්දවලදී ඉස්ලාම් ආගමට අනුකූලව ක්‍රියා කළ යුතු බව ඉල්ලලා තියෙනවා. මම අපේ අයට කිව්වේ ඔය ‘‘පිස්සො’’ එක්ක වැඩ කරන්න එපා කියලයි. අපි හැමදාම ඡන්ද කළේ ගීත ගායනා නැටුම් වැයුම් එක්කයි. ඒක මිනිස්සුන්ටත් ආස දෙයක්. අපි හැමදාම කරපු විදියට වැඩ කරන්න කියලයි මම උපදෙස් දුන්නේ. මොකද අන්තවාදීව, මූලධර්මවාදීව අපට දේශපාලනය කරන්න බැහැ. වෙන පක්ෂ වගේ විවෘතව අපටත් කටයුතු කරන්න වෙනවා. මේ මිනිහා සියලු පක්ෂ එක්ක ගිවිසුම් ගැහුව නම් එයාට තිබුණු අල්ප ඡන්ද ටික හෝ කාටද වැටුණේ කියලා ‘‘දෙයියෝ’’ තමයි දන්නේ. අනික මේකා ත්‍රස්තයෙක් බව හඳුනා ගැනෙන්නේ ඉතා පසුකාලීනවයි. ඒ නිසා අපේ පක්ෂය මේ චෝදනා ගැන කලබල වෙන්නේ නැහැ. මුස්ලිම් සාක්කිකරුවන් තේරීම් කාරක සභාවට පැමිණි විට ඔබ ඉතා ‘‘තැන්පත්වීමට’ හේතුව ළබැඳියාවද? ඒක ඉතා අසාධාරණ ප්‍රශ්නයක්. මම කවදත් කෑගහගෙන දඟලලා වැඩ කරන්නේ නැහැ. මම තැන්පත්ව, විනයගරුකව තමයි හැමදාම වැඩ කරන්නේ. මුස්ලිම්වරු ආවම කියලා මට විශේෂයක් නැහැ. ඔවුන් කියන දේත් මම තැන්පත්ව අසා සිටියා. හිස්බුල්ලා කලබල වෙලා හැඟීම්බර වෙලා එයා අපේ මුස්ලිම් කොංග්‍රසය පැත්තට බෝලය පාස් කරන්න හැදුවා. බෝල පාස් කිරීමේ ගැටවලට අහු නොවී මම ඇසිය යුතු ප්‍රශ්න අහලා නිහඬව හිටියා. සහරාන් එක්ක තිබුණු සබඳතා ගැන මම ප්‍රශ්න කළාම එයා ‘‘නෑ’’ කිව්වා. කාරක සභාවේ අනිත් අය දිගටම ප්‍රශ්න කළා. තොරතුරු රැසක් එළියට ගත්තා. අනික විශාල පිරිසක් මැද මම කොහොමද ළබැඳියාවක් ක්‍රියාත්මක කරන්නේ. සහරාන් කියන ඔය ‘‘පිස්සා’’ ගැන පැමිණිලි රැසක් ලැබී තිබියදී ඒ ගැන නීතිය ක්‍රියා නොකිරීමට බලපෑම් කළේ කව්ද? ඔය මනුස්සයා ගැන පැමිණිලි ආවේ ඉතා පසුකාලීනවයි. කාගේ හරි බලපෑම් ආවද මම දන්නේ නැහැ. නිසි ලෙස ක්‍රියා කිරීම අදාළ අංශවල වගකීමයි. එයාට විරුද්ධව අදාළ අංශ ක්‍රියා කළා. නිල් හා රතු වරෙන්තු පවා නිකුත් කරලා තිබුණා. මිනිහා පැනලා ගිහිං හැංගුණා. මේකා අමනුස්ස ත්‍රස්තයෙක් වුණේ ඉතා පසුකාලීනව නිසා ආරක්ෂක අංශවලටත් මෙයාගේ කෙරුවාව තේරුම් ගන්න අපහසු වුණා වෙන්නත් පුළුවන්. මාවනැල්ලේ බුදු පිළිම කැඩීම තෙක් නිහඬව සිටීම මුස්ලිම් දේශපාලකයන්, ආණ්ඩුව හා ආරක්ෂක අංශවල විශාල අතපසුවීමක් නේද? පිළිම කැඩීම එක්කයි ත්‍රස්ත වැඩ එළියට ආවේ. එතැනදීත් ඊබ්‍රහිම් කියන කෙනාගේ පුතාලා දෙන්නා ගැනයි අවධානය යොමු වුණේ. ගම්පොළ සපත්තු කඩේක ඉඳල ඇල්ලුවේ එයාලයි. සහරාන් කියන මිනිහා ගැන දැඩි කතාවක් ආවේ බෝම්බ පිපිරුණාමයි. පිළිම කැඩුවාම මම කබීර් ඇතුළු අය ජනාධිපති, අගමැති ඉදිරිපිටම කැබිනට් එකේදී මේ ගැන කිව්වා. මේ කල්ලිය භීතිය මවලා, මුස්ලිම්වරු බිල්ලට දීලා විනාශයක් කරන්න හදන හැඩයි කියලා අපි කිව්වා. ඒත් වනාතවිල්ලුවෙ අවි ගබඩාව ඇල්ලූ විටත් නිසි ක්‍රියාමාර්ග නොගත්තේ මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම් නිසා බවට ඇති චෝදනාව බරපතළයි නේද? සී.අයි.ඩී එක සියල්ල දන්නවා ඇති. බලපෑම් ආවා නම් ඒ කාගෙන්ද කියලා එළිවෙන්න ඕන. නිකරුණේ කොටු වූ බවට සීඅයිඩීය තහවුරු කරගත් පාසල් ළමයෙක් නිදහස් කළා. ඒක ආරක්ෂක අංශ ගත්ත තීන්දුවක් කියලයි මම දන්නේ මේ පිස්සු කණ්ඩායම ගැන සොයන්න කණ්ඩායම් 50 ක් දාලා තිබුණු බව සීඅයිඩී ලොක්කෙක් මට කිව්වා. පන්ති හරහා පතුරවපු පහත් මතවාද ගැනත් ආගම හරහා මේ අය ලොකු ගේමකට අරඅඳින බවත් ඔහු කිව්වා. මඩකලපුවේ, වව්නතිව්හිදී පොලිසියේ දෙදෙනකු ඝාතනය වූ විටත් මේ ත්‍රස්ත කල්ලිය නිසි කොටු කිරීමකට ලක් නොවීමත් ගැටලු සහගතයි කියලා පිළිගන්නවද? ඊට දින 2-3 කට කලින් කොටි සමරන්න හැදුවාම ඒකට පොලිසිය ඉඩ නොදුන් නිසා ඒ අය පොලිස් දෙන්නා ඝාතනය කළා කියන රාවයයි ගියේ. විපක්ෂයත් ‘‘කොටි ආවෝ’’ කියලයි කෑගැහුවේ. ආරක්ෂක අංශත් ඔක්කොම පැත්තකට දාලා කොටි හෙව්වද දන්නෙ නෑ. දැන දැනම ත්‍රස්තයන්ට මුස්ලිම් දේශපාලකයෝ හෝ එම සමාජය උදව් හා ආරක්ෂාව දෙන්න යන්නේ නෑ කියලයි මම හිතන්නේ. ඔප්පු වුණොත් තමයි යමක් පිළිගන්න වෙන්නේ. මම කවුරුවත් රකින්න කතා කරනවා නෙවෙයි. සියලු මුස්ලිම් දේශපාලකයෝ එකවර තනතුරු අත හැරියේ වැරදි කළ අය තනි කරලා කොටුවීම වළක්වන්න බව පිළිගන්නවද? ඒක සම්පූර්ණ වැරදියි. රතන හිමිගේ උපවාසය දේශපාලනික බව අපේ මතයයි. කලහකාරී බවක් ඇති කරලා ප්‍රශ්නය වෙන පැත්තකට ගෙන යාමේ අරමුණක් තිබුණා. මුස්ලිම්වරු හා සියලු ජනතාව අනාරක්ෂිත වුණා. නුවරට ඇති සියලු පාරවල්වල, හන්දිවලට පිටින් ආපු පිරිස් පොලු මුගුරු අරගෙන කළු කොඩි දාලා බලෙන්ම කඩත් වැස්සෙව්වා. හදිසි නීතිය තිබුණත් නීතිය සාමයට අදාළ වගකිවයුතු අය ක්‍රියාකාරීව තත්ත්වය පාලනය කරන්න පියවර ගන්න බව පෙනුනෙත් නැහැ. මුස්ලිම් කීප දෙනෙක් කරපු පහත් ත්‍රස්ත ක්‍රියාව නිසා මුස්ලිම් සමාජයම අනතුරකට වැටිලා තිබුණේ. හෙට දවල් වෙනකොට සංදර්ශන බලා ගන්න කියලා හිමි නමක් මේකට තවත් පෙට්‍රල් වක් කළා. මේවා මර්දනය කරන්න නීතිය, සාමය, වගකීම් ඉටු නොවූ නිසා රටේ හා ජනතාවගේ ආරක්ෂාව ගැන හිතලා අපි ඉවත් වුණා. ඇමැතිවරයකුට හා ආණ්ඩුකාරවරු දෙදෙනකුට අස්වීමට බලපෑම් තිබියදී ඔක්කෝම ඉවත් වුණේ ඇයි? රිෂාඩ් රකිමින් විශ්වාසභංගයෙන් ඔහු මුදවා ගැනීම සියල්ල ඉල්ලා අස්වීමේ යටි අරමුණ නේද? ඒක වැරදියි. විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවේදී ජය ගැනීම හෝ පරාජය වීම දේශපාලන තීන්දුවක්. යමෙක් වරදකරුවකු හෝ නිවැරදිකරුවකු, විශ්වාසභංග තීන්දුවකින් සනාථ වෙන්නේ නැහැ. යමෙක් වැරදිකරුවෙක් වෙන්නේ නීතිය ඉදිරියේදී විතරයි. සමහරුන්ට මේවා තේරෙනවා අඩුයි. අපි ඔක්කෝම අස්වුණේ තවත් ජාතිවාදී කෝලාහලයක් වළක්වන්න හා රට තවත් අනවශ්‍ය යුද පසුබිමකට තල්ලු කරන්න සමහරුන්ට අවශ්‍ය දේ පරාජය කරන්නයි. චෝදනා එල්ල වූ ආණ්ඩුකාරවරු ඉල්ලා අස් වුණත් ඇමැති රිෂාඩ් එසේ නොකළේ ඇයි? රිෂාඩ්ට ඉවත් වෙලා නිර්දෝෂී බව ඔප්පු කරන ලෙස අගමැති ඇතුළු කවුරුත් කිව්වා. දින 54 ව්‍යාජ ආණ්ඩු කාලේ ඒ ආණ්ඩුවට සහාය නොදුන් නිසා විපක්ෂය ගහන ගේමට ආණ්ඩුව යටවිය යුතුද කියලයි රිෂාඩ් තර්ක කළේ. විපක්ෂය හා ඔවුන්ට සහාය දෙන ජනමාධ්‍ය ඔප්පු නොවූ චෝදනා කරන පමණින් ඉල්ලා අස් වෙන්න හේතුවක් නැති බවටත් ඔහු තර්ක කළා. ඊට පස්සේ දින 54 කාලෙ එකට හිටියා වගේ මුස්ලිම් අපි ඔක්කෝම මෙතැනදීත් එකට තීන්දුවක් අරන් ඉවත් වෙමුයි අපි තීන්දු කළා. එච්චරයි. මුස්ලිම්වරු මින් පසු වෙනත් පක්ෂයකට ඡන්දය නොදෙන බව ඔබ ඉන්දීය පුවත්පතකට කීමේ කළ ප්‍රකාශය බරපතළයි? මම කියපු දේ විකෘති කරලා එක සිංහල පත්තරයක් දාලා තිබුණා. ඒ පත්තරේට ආණ්ඩු විරෝධී න්‍යාය පත්‍රයක් ඇති නිසා නොයෙක් දේ මවලා දාන බව රටම දන්නවා. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දයේදී තීන්දු ගනීවි. ඒකට මට හෝ කාටවත් බලපෑම් කරන්න බෑ. මුස්ලිම්වරු වෙනම ම ඡන්දයට ඒවිද කියලා විපක්ෂය කලබල වෙලා භීතිකා මවනවා. ඒකට මට කරන්න දෙයක් නෑ. ප්‍රධාන පක්ෂ විසින් මේ රටට ආදරේ කරන හා මව්බිම ලෙස සලකන සුළු ජාතීන් ගැන මීට වඩා තකන්න ඕන බව නම් මම කියනවා. අනික රට තුළ අන්තවාදය, වෛරය හා බොරුව වපුරණ කවුරුන් හෝ මොන ආයතනය වේවා, තරාතිරම නොබලා නීතිය සමානව ක්‍රියාත්මක කිරීම අනිවාර්යය අවශ්‍යතාවක්. එවිට රට සන්සුන් වේවි. සියලු නායකයන්ටයි මම මේක කියන්නේ. මුස්ලිම් අය ලංකාවේ සුළු ජාතිය වුවත් ලෝකයේ ‘‘මහා ජාතිය’’ නිසා කිසි දේකට බය නොවන ලෙස හිස්බුල්ලා කළ ප්‍රකාශයට ඔබ එකඟද? ඔය කතාවේදී ඔහු වැදගත් කරුණු රැසක් කිව්වා. ඒත් ඔබතුමා මතු කළ ප්‍රකාශයට එකඟ වෙන්න අමාරුයි. මොකද මුස්ලිම්වරු ලෝක සහායත් අරගෙන අරගලයකට එන්න හදනවද කියන සැකය මේ රටේ මහ ජාතිය තුළ ඇති වෙන්න පුළුවන්. අශෝක ජයතුංග
 

More News..