brand logo

ඇම්බැට්ටයන් සෙට් එකේ අහිංසක කිරි පුතා

13 March 2021

පසිඳු කිව්ව පමණින් ඔහුව දන්නා අය අල්පයක් වුණත් ‘කිරි පුතා’ කිව් පමණින් නම් අද වෙනකොට බොහෝ දෙනකු ඔහු හඳුනනවා. වැඩි සද්ද බද්ද නැති අහිංසක නාඩගම්කාරයෙක් වුණු කිරි පුතා නොහොත් පසිඳු විතානගේ ගැන අපි අද පිනිපලසෙන් වතගොත විමසුවා. පසිඳුව දැන් ගොඩක් අය අමතන්නේ පසිඳු විදිහටද නැත්නම් කිරිපුතා විදිහටද? දැන් නම් ඇත්තටම ගොඩක් ප්‍රසිද්ධ කිරි පුතා විදිහට තමයි. කිරි පුතා කියන්නේ මුළු ගමකටම වදයක් වෙලා ඉන්න කොල්ලො හතරදෙනකුගේ කාණ්ඩයේ ඉන්න අහිංසකම කොල්ලා. ඔය කොලු කාණ්ඩෙ ඉතින් මොළේ තියෙන එකෙකුට ඉන්නෙත් කිරි පුතා තමයි. ඒ නිසාමද මන්දා පුදුම තරම් ප්‍රසිද්ධියක් මේ වෙනකොට මට කිරි පුතා විදිහට ලැබෙන්නේ. පසිඳු ගැන විස්තර ටිකක් කිව්වොත්... මගේ වයස අවුරුදු විසි තුනයි. ගම අනුරාධපුර මැදවච්චියේ. පාසල් ගියේ මැදවච්චිය මධ්‍ය මහා විද්‍යාලයට. පවුලේ ඉන්නේ මමයි, අයියයි, මල්ලි සහ අම්මා, තාත්තා. ඔබට කොහොමද කිරි පුතා වෙන්න ලැබෙන්නේ? මට කිරි පුතා චරිතය ලැබෙන්නේ සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයා හරහා. මම රංගනය හදාරන ඉන්පාස් ඇකඩමියේ අයිතිකරු තමයි සද්ධාමංගල මහත්මයා. ඔහු මේ චරිතෙට ගොඩක් අයව තෝරගෙන තිබුණා. නමුත් අවසානයේ හිටපු හයදෙනාගෙන් තේරුණේ මම විතරයි. ඒක ලොකු වාසනාවක්. ඉතින් කොහොමද මේ වෙනකොට ලැබෙන ප්‍රතිචාර? ඇත්තටම මම මේ චරිතය තෝරගනිද්දි කවදාවත් හිතුවේ නෑ ටිකක් හෝ ප්‍රසිද්ධ වෙන්න ලැබෙයි කියලා. නමුත් අද වෙනකොට මට හරිම සතුටුයි. හිතුවෙවත් නැති තරම් ලොකු ප්‍රතිචාරයක් මට ලැබෙනවා. ඒක මට වචනවලින් විස්තර කරන්නත් අමාරුයි. ගොඩක් අය කෝල් කරනවා, පණිවුඩ එවනවා. ඔබ රංගනය හදාරන කෙනෙක් නිසා චරිතය අමාරු නැතිව ඇති.. අමාරු නෑ කියන්නත් බෑ. නමුත් ඒක වදයක්, අමාරුවක් නෙවෙයි. මම රංගනය හදාරන්නේ ප්‍රසන්න මහගමගේ ගුරුතුමා යටතේ. ඇත්තටම මට හිතෙන්නේ ඉන්පාස් ඇකඩමි කියන්නේ අලුතෙන් රංගනය හදාරන කෙනකුට ඉතාමත් හොඳ තැනක් කියලා. පසිඳු මීට පෙර නිර්මාණවලට රංගනයෙන් දායක වෙලා නැද්ද? මීට පෙර ටෙලි නාට්‍ය හයකට පමණ දායක වෙලා තියෙනවා. නමුත් සුළු චරිත කිහිපයක් පමණයි මම ඒ තුළින් රඟදැක්වූවේ. මට ලැබුණු හොඳම චරිතය තමයි ‘නාඩගම්කාරයෝ’ හි කිරි පුතා. ඔබ මේ වෙනකොට වේදිකා නාට්‍ය නළුවෙකුත් වෙනවා.. ඔව්. මේ වෙනකොට ලීල් ආනන්ද ගජනායක මහත්මයාගේ වේදිකා නාට්‍යයවලට දායක වෙලා ඉන්නවා. ‘කිරට හඬන දරුවෝ, ඉහිරුණු කිරි, රෝමියෝ’ වගේ වේදිකා නාට්‍යයන්. මේ පවතින කොවිඩ් තත්ත්වයත් එක්ක සේරම ඇනහිටි නිසා වේදිකා නාට්‍යයන් තිරගත කිරීම් නැවතිලා තියෙන්නේ. කොහොමද අනිත් නාඩගම්කාරයෝ එක්ක ගෙවෙන දවස්? මාරම විනෝදයි. සජිත, සංගීත් අයියලා මට ගුරුවරු වගේ. එයාලා වගේ නෙවෙයි මම රංගනයට අලුත්නේ. නමුත් කිසිම ආඩම්බරකමක්, ලොකුකමක් නැතුව ඔවුන් සියලුම දෙනා මට ගුරුහරුකම් දෙනවා. මම ඕකට සම්බන්ධ වෙන්න කලින් සජිත අයියා ගැන හිතන් හිටියේ ප්‍රවීණ රංගධරයෙකුගේ පුතෙක් නිසා හරි ආඩම්බර ඇති කියලා. නමුත් ඔහු අද වෙනකොට මගේ සහෝදරයෙක් වෙලා අවසානයි. කිරි පුතාට එකම කොටස නව පාරක්ම රඟපාන්න වුණා කියලත් ආරංචියි... ඒක නම් අමතකම නොවන සිදුවීමක්. ළඟකදි විකාශය වුණ කොටසක තිබුණා පොලිසියෙන් පන්නගෙන එද්දි මට නියර දිගේ දුවන්න වෙන සීන් එකක්, සරා... පොලිසියෙන් පන්නනෝ... කියාගෙන. මම ඔය කොටස නව වතාවක් කළා. දෙපාරක් කළා ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයාට මාව වැටෙන හැටි බලාගන්න ඕන වෙලා. අනිත් හත්පාරම එක්කො වැටෙන්න ඕන තැන නෙවෙයි මම ගිහින් වැටෙන්නේ. මගදි ලිස්සලා වැටෙනවා. වැටෙන්න තියෙන්නෙත් නිදිකුම්බා ගාලක් එක්ක තියෙන මඩ ගොහොරුවකට. ඉතින් කොහොමහරි නවවැනි වතාවේ හරියට ෂොට් එක ගත්තා. නමුත් මුළු ඇඟම නිදිකුම්බා කටුවලට හීරිලා. ඒ ඇඟේ අමාරුව තිබුණා මාසයක් විතර. නාඩගම්කාරයන්ට පණ පොවන අතරේ වෙනත් නිර්මාණවලටත් ආරාධනා ලැබිලා ඇති... ඔව්. එක ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණා. නමුත් මට විශ්වාසයක් නෑ මම ඒක බාරගනීවිද කියලා. මොකද කිරි පුතා තමයි දැන් ඔළුවේ ලොකුවටම තියෙන වගකීම. ඒ චරිතය අවසන් වෙනතෙක් මම වෙනත් නිර්මාණයකට දායක වෙන්නේ නෑ. එහෙම වුණොත් එකක්වත් හරියට කරගන්න බැරිවෙයි කියලා මට හිතනවා. එරංදි කෞෂල්‍යා
 

More News..