brand logo

ඇමරිකා එන්නතත් කොරෝනා සටනට

20 May 2020

කොරෝනා වෛරසය සඳහා අත්හදා බලමින් ඇති එන්නත් අතරින් මිනිසුන් සම්බන්ධයෙන් මුලින්ම අත්හදා බලන ලද්දේ ඇමරිකානු එන්නතකි. මොඩර්නා නමැති සමාගමක් සහ සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනය එක්ව නිපදවමින් සිටින මෙම එන්නත මුලින්ම මිනිසුන් සම්බන්ධයෙන් අත්හදා බැලීමට පටන් ගත්තේ පසුගිය මාර්තු මාසයේ යි. මෙම එන්නත සම්බන්ධයෙන් සතුටුදායක පුවතක් පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි. එනම් මෙම එන්නත ලබාදුන් පුද්ගලයින්ගේ සිරුරු තුළ කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිෂ්පාදනය වී ඇති බවයි. වෛරසයක් සිරුරුට ඇතුළු වූ විට එයට එරෙහිව සටන් කර එය මර්දනය කරන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ නිපදවෙන මෙවැනි ප්‍රතිදේහයි. එන්නතක් මගින් සිදු කරනු ලබන්නේ අදාළ වෛරසයේ කොටසක් හෝ අඩපණ කරන ලද වෛරසය හෝ සිරුරට ඇතුළු කිරීමයි. එන්නත ලබන පුද්ගලයා ආසාදිතයෙකු බවට පත් කිරීමට තරම් ශක්තියක් එම එන්නතට නොමැත. නමුත් සිරුරට ඇතුල් වන වෛරස කොටස හෝ අඩපණ කළ වෛරසය ආක්‍රමණිකයෙකු ලෙස හඳුනාගන්නා ප්‍රතිශක්තිකරණ පද්ධතිය එයට එරෙහිව සටන් කිරීම සඳහා සුදුසු ආයුධ හෙවත් ප්‍රතිදේහ නිපදවා ගනියි. ඒ අනුව සැබෑ වෛරසය සිරුරට ඇතුල් වූ අවස්ථාවකද එයට එරෙහිව සටන් කිරීමේ ශක්තියක් ශරීරය තුළ ඇති වේ. මෙම අත්හදාබැලීම්වල පළමු වටය සඳහා පුද්ගලයින් අට දෙනෙකු සහභාගි වූ අතර එම අට දෙනා තුළම මෙම ප්‍රතිදේහ නිෂ්පාදනය වී තිබූ බැව් සඳහන් වේ. මීට වඩා වැඩි පිරිසක් යොදා ගනිමින් මෙම අත්හදා බැලීමේ දෙවැනි අදියර ජූලි මාසයේ ආරම්භ කරන බැව් බලධාරීන් ප්‍රකාශ කර තිබේ. කොරොනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය සූදානම් කිරීමට එන්නතකට හැකියාව ඇති බවට ලැබුණු පළමු හෝඩුවාව මෙයයි.   සහන් වික්‍රමගේ
 

More News..