brand logo

ඇමරිකාව මාව හිරේ දැම්මේ ලොකුම ආයෝජකයා මා නිසයි

09 June 2020

ඇමරිකාවේ හිටියත් රාජ් රාජරත්නම් ශ්‍රී ලාංකිකයෙකි. ඉකුත් කාලයේ ඔහුගේ නම කොළඹ දේශපාලනයේ නිතර කියැවුණේය. ඒ කතා කෙසේ වෙතත් මීට දස වසරකට පමණ ඉහතදී ඔහු ලංකාවට එන්නට සූදානම් වූයේය. ඒ ගමන හරි ගියේ නම් ලොව සිටින ධනවත්ව ශ්‍රී ලාංකිකයා වන්නේ ඔහුය. ඇමෙරිකාවේ ඔහු සතු මහා ධනස්කන්ධය ලංකාවේ ආයෝජනය කිරීම එම ගමනේ අරමුණ විය. එහෙත් ඊට පෙර ඇමරිකාව ඔහු අත්අඩංගුවට ගෙන හිරේ විලංගුවේ දැම්මේය. තමාට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා පිළිගෙන අඩු සිරදඬුවමක් විඳීමට ඔහුට ඉඩ තිබුණද ඔහු ඊට ලෑස්ති නොවීය. සම්පූර්ණ සිරදඬුවම දෑ අවුරුද්දකට ඉහතදී නිදහස ලැබූ ඔහු News week සඟරාවට ‘Raj Rajaratnam Teveals why he Didn't trake a Plea’’ යනුවෙන් සිය කතාව කීවේය. එය ලීවේ සූකේකු මේතාය. එම කතාවේ කොටසක් ගිය සතියේ සති අග අරුණේ පළ වූ අතර මේ එම පරිවර්තනයේ ඉතිරි කොටසය. මෙය සැබෑ මුදල් ආයෝජනයක් මිස අත්හදා බැලීමට කරන දෙයක් නොවන බව රාජරත්නම් දැන සිටියේ ය. එබැවින් ඔහු කලින් ව්‍යාපාර කළ විධායකයන්ගෙන් ලබා ගත් ඩොලර් මිලියන 15 ක් සමග නීඩ්හැම් හි හෙජ් අරමුදලක් ආරම්භ කළේය. එය ඉතා කෙටි කාලයකින් ම ඩොලර් මිලියන 250 දක්වා වර්ධනය විය. ඉන්පසු ඔහු 1997 දී තමාගේම හෙජ් අරමුදලක් ආරම්භ කළේය. ඔහු එය ගැලියන් වශයෙන් නම් කෙළේ තමාගේ උපන් බිම වූ ලංකාවේ හි සිට යුරෝපයට කුළුබඩු හා ඇත්දළ වෙළෙඳාම් කළ නෞකාවක නමිනි. ගැලියන් ආරම්භ වූයේ ඩොලර් මිලියන 300 ක මුදලකිනි. 2008 ජනවාරි වන විට එයට පුද්ගලයන් 160 දෙනකු සම්බන්ධ වී තිබුණි . එහෙත් කළමනාකාරීත්වය යටතේ වූ එම අරමුදල තර වූයේ විශ්වාස කළ නොහෙන අන්දමිනි. රාජරත්නම් ට දැන් ඩොලර් බිලියන හතක් ආයෝජනය කළ හැකිව තිබුණි. එය ඒ වන විට තාක්ෂණය පදනම් කොට ගොඩනගන ලද ලෝකයේ ධනවත්ම අරමුදල විය. 2007 දී කැලිෆෝනියාවේ හිටපු ගැලියන් සේවකයකු වන රූමි ඛාන් එෆ් බී අයි විසින් අත්අඩංගුවට ගන්නා ලදී . ඒ බදු වංචා ආදී විවිධ චෝදනා යටතේය. එහෙත් රාජරත්නම් සමග පැවැත් වූ දුරකථන සංවාද පටිගත කිරීමේ පොරොන්දුව මත එෆ් අයි බී හා ඇය අතර එකඟතාවක් ඇති විය. ඇය මෙවැනි හෙජ් අරමුදල් විස්සක පමණ නම් හෙළිදරව් කර තිබුණි. " ඔපමණට ප්‍රමාණයක් ඉඳිද්දි ඔබව තෝරගත්තෙ මොකද කලින්ම ?" මම ඇසීමි . " මම තමයි විශාල ම ආයෝජකයා " ඔහු පැවසුවේ ආඩම්බරයෙනි. අධිචෝදනාවන්ට ලක් වන්නට පෙර රාජරත්නම් මේ ලෝකයේ ගෞරවනීය සාමාජිකයෙකි. “ශ්‍රී ලංකාවෙ බොහොම ගරු සරු ලබන පුද්ගලයෙක් මම " ඔහු පැවසූයේ හැඟීම්බරවය. දෙවෙනි වතාවට මම ඔහුව මුණගැසුණේ සඳුදා ය; මීදුමෙන්, වියළී ගිය සඳුදාවකය. ඔහු හමුවන්නට පෙර පැය භාගයක පමණ කාලයක් මට ගෙවා දමන්නට සිදු විය. මම එහි පෙරදිග ඉසව්වේ ඔබ මොබ ඇවිද්දෙමි. ලෝකයේ වඩාත්ම මිල අධික දිවයිනේ , වඩාත්ම මිල අධික නිවාසය මෙයයි. ලොව බොහෝ තැන්වල ජීවත් වීමෙන් පසුව ඔහු අන්තිමේ ජීවත් වීමට තෝරා ගත්තේ මෙතැනයි. පඩි පෙළෙන් බැස රාජරත්නම් සාලය වෙත ඇවිද ආවේය ; ඔහු ස්නානය කර හෝ රැවුල කපා තිබුණු බවක් හෝ දකින්නට ලැබුණේ නැත. රාජරත්නම්ගේ බිරිය වන ආශා කාමරයට එන්නේ අපි දිවා ආහාරය ගන්න කැමතිදැයි දැනගනු පිණිසය. ලෙදර් ජැකට්ටුවකින් සැරසී සිටින ඇය ලජ්ජාශීලී කාන්තාවකි. ඇය යම් වේදනාවකින් පෙලන්නාක් මෙනි. රාජරත්නම් හුදෙකලාව සිටින්නෙකි. මේ කිසිදු විමර්ශනයක් සිදු වීමට පෙර පවා ඔහු පුවත්පත් වෙත සම්මුඛ සාකච්ඡා ලබා දුන්නෙක් නොවේ. එහෙත් හිතූ මතේ ඔහු ගැන ලියැවුණු පුවත්පත් වාර්තා බොහෝය. "ඔවුන් මා ගැන නොලියූ දෙයක් නැහැ. ඒ සියල්ලම අපූරු නාටක. පත්තර ඒවාට අත්තටු දෙනවා." ඔහුගේ බාල සොහොයුරා වන රෙන්ගන් වරෙක ඔහුගෙන් ඉල්ලා සිටියේ තම පවුලේ අය නඩු විභාගයට ගෙන ඒමෙන් මානුෂීය සහනයක් ලබා ගන්නා ලෙසයි. රාජරත්නම් මෙන්ම එක්සත් ජනපද නීතිපති ද දකුණු ආසියානු ජාතිකයෙකි. "අප්පා [තාත්තා] උසාවියට ගේන්න, රෝද පුටුවේ ඉන්න අම්මා එක්කගෙන එන්න!" රෙන්ගන් තම සොහොයුරාගෙන් ඉල්ලා සිටියේය. නමුත් රාජරත්නම් එසේ නොකෙළේය. "මගේ පවුල ලෝකෙට එළිදරව් කරන්න මට වුවමනා වුනේ නැහැ. අපි බොහොම පාඩුවේ ජීවත් වෙන මිනිස්සු." ආශා උසාවියට ආවේ වුව දඬුවම් නියම කළ දවසේ පමණි. එදා ද ඇය සිටියේ ගැලරියේ වාඩිවී මිස තම සැමියා අසල නොවේ. සියලු චෝදනාවලට ඔහු වරදකරු කිරීමට තීරණය කළායින් පසු, ජූරි සභිකයෝ සාමූහිකව දෑත් අල්ලාගෙන, වරදකරු කළ පුද්ගලයාගේ පවුලේ අය වෙනුවෙන් යාච්ඤා කළහ. ඔහු කිසිවක් පිළිබඳව පසුතැවුණේද? "මම කොහොමටත් මිනිස්සු ගැන ඒ හැටි විශ්වාස කරන කෙනෙක් නෙවෙයි." ඔහු එසේ පවසන්නේ කවුරුන් ගැනද යන්න පැහැදිලිය. රජයේ නඩුව ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ ඔහුගේ වෝර්ටන් පන්තියේ මිතුරන් දෙදෙනා මතය. මැකින්සි විධායක අනිල් කුමාර්, ගැලියන් සමාගමේ උපදේශකයකු ලෙස බඳවා ගන්නා ලද්දෙකි. අනෙකා රජීව් ගොයෙල්ය. හේ ඉන්ටෙල් හි වසර අටක් සේවය කළේය. ඔවුන් දෙදෙනාම මුලින් වරද පිළිගත් නොගත් නමුත් අධිචෝදනාවේ පීඩනය හේතුවෙන් ඔවුන් තම තීරණය වෙනස් කළ බව රාජරත්නම් සිහි කරයි. කුමාර් සමග කළ සංවාදවලදී, දකින්නට ලැබුණු දේ නම් රාජරත්නම් ඔහු අභ්‍යන්තර තොරතුරු හා එසේ නොවන දේ පවා තීරණය කිරීමේ දී ඔහු පිළිබඳව විශ්වාසය තැබූ බව ය. "මැකින්සිගේ ජ්‍යෙෂ්ඨ හවුල්කරුවෙක් මැකින්සිගේ රහස්‍යභාවය උල්ලංඝනය කරයි කියලා මං හිතුවෙ නැහැ. මං හැම තිස්සෙම හිතුවෙ ඔහු නිවැරදි කියලයි; ඒ වගේම සීමාව ඉක්මවලා යන එකක් නැහැ කියලයි." රාජරත්නම් කුමාර් ගැන කතා කරන්නේ හිත සතුටකින් නොවේ. රාජරත්නම්ගේ කතාවේ එක්තරා විශේෂ කොටසක් වන්නේ කුඩා දකුණු ආසියානු රටක මිනිසෙකු බිග් බ්‍රදර් යනුවෙන් හඳුන්වා ගනු ලැබූ රටේ මිනිසුන් විසින් පොලඹවා පාවාදුන් ආකාරය යි. කුමාර් ඔහුව රාජත් ගුප්තාට හඳුන්වා දී තිබුණි. ඔවුන් දෙදෙනාට හයිද්‍රාබාදයේ ඉන්දියානු ව්‍යාපාර පාසලක් ආරම්භ කිරීමට අවශ්‍ය විය. "මම ඔවුන්ට [පාසලට] ඩොලර් මිලියනයක් දුන්නා. පසුවයි මම දැනගත්තෙ ඔවුන් තමන්ගෙ මුදල්වලින් කීයක්වත් දීලා නැහැ කියලා. ඒත් පාසලේ ආරම්භකයින් විදිහට දෙන්නාගෙන් නම් ලැයිස්තු ගත කරලා තියෙන බවත්. මාව ඒ ජඩ ඉන්දියානුවෙක්වත් තරමටවත් ගණන් ගෙන තිබුණෙ නැහැ ." වැඩිමනත් ව ඔහු ගේ සිත රිදී ඇත්තේ ඉන්දියානු සහචරයින්ගේ පාවාදීම ගැනය. සුදු රජයේ සාක්ෂිකරුවන් ගැන ඔහු සඳහන් කරන්නේ යන්තමිනි. ඉන්දියානුවන් සමග හවුල් ව්‍යාපාරයක් සිදු කිරීම ගැන ඔහු පසුතැවිලි වෙයි. ආයාචනා කේවල් කිරීමේ ක්‍රම දෙකක් තිබේ. එකක් නම්, රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමයි. ඒ වෙනුවෙන් ඇතැමෙක් තවත් පුද්ගලයින් 10 දෙනකුට ඇඟිල්ල දිගු කරයි. අනෙක සහයෝගයෙන් තොරව කරන ආයාචනා කේවල් කිරීමයි. සුදු විත්තිකරුවන් සියල්ලන්ම කෙළේ සහයෝගය නොදක්වා ආයාචනා කිරීමයි. ; හොරෙන් දුරකතන සංවාද පටිගත කළේ නැත. “දකුණු ආසියානුවන් සියලු දෙනාම ආයාචනා කළේ මේ පළමු ක්‍රමයේ කේවල් කිරීමෙන්” ඔහු සඳහන් කරයි. "ඇමරිකානුවන් ඔවුන්ගේ ස්ථාවරයේ සිටියා. සෑම ලේ පිපාසිත ඉන්දියානුවෙක්ම සහයෝගය දක්වන්න සූදානම් වුණා - ගොයෙල්, ඛාන්, කුමාර්." ඔහු එය "සංක්‍රමණිකයකු වීමේ අනාරක්ෂිතභාව යොදා ගනිමින් , නීතිඥයන් ඔවුන්ව ඒ තත්ත්වයට ඇදලා ගත්තා " ඔහු සඳහන් කරයි. දඬුවම් නියමවීමට සති දෙකකට පමණ පෙර රාජරත්නම්ට ගුප්තාගේ රහස් අල්ලා දෙන ලෙස බල කෙරිණි. එහෙත් රාජරත්නම් ඔහුගේ දුරකතන සංවාද ටැප් කරනට උදව් කළේ නැත . "අනිල් කුමාර් ගේ පුතා එක ග්‍රීස්ම සෘතුවක ගැලියන් එක්ක සේවය කළා. ඒ වගේම මම රජයේ ඔයාලගේ පවුලේ අය එක්ක නිවාඩුවක් ගත කරලාත් තියෙනවා. අපේ පවුල් වල අය එකිනෙකා අඳුරනවා. ඉතින් ඔබ හිතනවා ද මම එහෙම වැඩක් කරයි කියල. ඔවුන් උත්සාහ කළේ ඒ හරහා ඒ වැඩ දෙකම කර ගන්නයි. ඔවුන්ට රජාත්වත් අවශ්‍ය වුණා. ඒත් මිනිස්සු මට කළ දේවල් මම ආපහු කරන්න යන්නේ නැහැ. රාජත්ට දූලා ම හතරදෙනෙක් ඉන්නවා. රාජරත්නම් නඩුව දකුණු ආසියාවෙන් පැමිණි සංක්‍රමණිකයන් අතර තිබුණු වෙනස්කම් පෙන්වන කදිම චිත්‍රයක් යැයි කිව හැකි අතර, නීතිය දෙස ඔවුන් බලන ආකාරයේද කදිම පිළිබිඹුවකි. ඔවුන්ගේ දරුවන් වන පළමු පරම්පරාව අධ්‍යාපනය ලබන්නේ ඇමරිකානු නීති රීතිවලට අනුකූලවය. ප්‍රීත් භාරාරා එක්සත් ජනපදයට පැමිණි තිබුණේ ද ළදරු වියේ සිටියදීය. පුදුමයට කරුණ නම් මේ සියලු කලිකලහ අතරේ තවමත් ඔහු ඇමරිකානු යුක්තිය විශ්වාස කිරීමය. "වෙන රටකදී නම් මම විනිසුරුවරයාට සල්ලි කීයක් හරි දෙනවා. ඉන් පස්සෙ ඔහු මගේ නිවසේ රෑ කෑමකට එනවා. මෙතනදි මට ඒ මොනවත් නැහැ.ඇමරිකානු යුක්තිය පසිඳලීමේ ක්‍රමය ලොකු පොඩි කාටත් එකයි - සාධාරණයි." " ඔබේ නඩුවටත් ? " " කාටත් එකයි - සාධාරණයි. " අධිචෝදනා පත්‍රවල මෙතරම් ඉන්දියානු නම් ඇත්තේ මන්දැයි මම ඇසූවෙමි. “රූමි ඛාන්ගේ ජාලය ඉන්දියානුවන් වුණු නිසා නෙ.” ඔහු සරලව පැහැදිලි කරයි. " මෙතැන කිසිවෙක් අසාධාරණ විදිහට ඉලක්ක කරලා නැහැ. කුමන්ත්‍රණ න්‍යාය ගැන මගේ විශ්වාසයක් නැහැ. " ඔහුගේ සහෝදර රෙන්ගන් එය දකින්නේ ඊට වඩා වෙනස් ලෙස ය. "අවුරුදු ගාණක් තිස්සේ මේ අය ක්‍රීඩා සමාජවල ඉඳගෙන තොරතුරු හුවමාරු කරගත්තා. ඒක අපරාධයක් නෙවෙයි. දැන් අපි සංක්‍රමණිකයන් වෙන අපිත් ඒ දේම කරනවා. ඒක වැරදියි?" ඔවුන්ට අවශ්‍ය මගේ සැලසුම් ගැන දැන ගන්නයි. මම සටන් කරුවෙක් . ඒ වගේම පීඩිතයෙක්. " රාජරත්නම් පවසයි. මීට පෙර අපි දෙමළ කොටින්ගේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් ගැන සාකච්ඡා කරමින් සිටියෙමු. ඔහුගේ අවසාන දිනවල ප්‍රභාකරන් ද ඔහුගේ බංකරයේ නිවාස අඩස්සියේ පසු වෙමින් චීන කෑම පිසීමින් කාලය ගත කළ බවක් අසන්නට ලැබෙයි. ඔහුගේ සිරුර සොයාගත් විට එය බෙහෙවින් තරබාරු ව තිබුණි. ප්‍රභාකරන්ට අවශ්‍ය වී තිබුණේ පූර්ණ ස්වාධීනත්වය මිස ඊට වඩා අඩු කිසිවක් නොවේ . ශ්‍රී ලංකා හමුදාව 2009 දී එම අදහසට අති ප්‍රබල ලෙස ම ප්‍රතිචාර දක්වා තිබුණි . “ පැහැදිලිවම එය අහිමි වීමක්,” රාජරත්නම් මෙසේ කතා කරන්නේ කවුරුන් ගැනදැයි මට නිච්චියක් නොවීය : ප්‍රභාකරන් හා කොටින් හෝ තමා ගැන ?. ඔවුන් දෙදෙනාම උපරිමයෙන් කටයුතු කළහ. සටනක් දියත් කළහ. පසුව පරජය කොට අතුගා දමන ලද්දෝ ය. ඔහු එය මෙසේ පැහැදිලි කරයි. දෙමළ පාසල් සිසුවකු , තම මව් රටෙහි හිංසා පීඩා විඳ; එක්සත් ජනපදයේද වධ හිංසාවට ලක් වෙයි; ඔහු දුටු පරිදි, ඔහුගේ ජනවාර්ගිකත්වය මේ සියල්ලට එකම හේතුව ය . තවත් විරුද්ධවාදියෙකුට මුහුණ දෙන විට, ඔහු තම සාක්කුවල මිරිස් කුඩු ලබා ගනී. එහෙත්, අවදානම සහ ලාභය සමතුලිත කරන්නා කළ යුතු හොඳම දෙය නම් සිරගෙදරදී මිය යාමේ අවදානමකට වඩා අඩු දඬුවමක් ඉල්ලා සිටීම වඩා යහපත් නො වුණි ද ? (රාජරත්නම් දෙවන වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන්නෙකි; ඔහුගේ වකුගඩු අකර්මණ්‍ය වෙමින් තිබේ.) එය පෙනුණේ අතාර්කික තීරණයක් ලෙසය. නමුත් තවත් අතාර්කික පැහැදිලි කිරීමක් තිබේ. රාජරත්නම්ට සමීප ශ්‍රී ලාංකික තානාපතිවරයෙක් මට කීවේ රාජරත්නම් වරදකරු වීමට ටික කලකට පෙර තමාට මුණගැසුණු බවයි. "ඔහු පත්තරකාරයන් පස්සේ ගිහින් තිබුණා." ඔවුන් ඔහුට පවසා තිබුණේ ඔහු නිදොස් වනු ඇති බවය." ඒ කියන්නේ ශ්‍රී ලාංකික ජ්‍යොතිෂවේදීන්. ඔවුන් විශ්වාස කරන්නේ මීට වසර 3,000 කට පෙර ඉන්දියානු සෘෂිවරුන් හත්දෙනෙකු තල් කොල මත තවමත් උපත නොලබන සෑම පුද්ගලයෙකුගේම කේන්දර සටහන් කිරීමට තීරණය කළ බවයි. දක්ෂ විමසා බලන්නෙකුට අනාගතය ඇතුළුව පුද්ගලයෙකුගේ සම්පූර්ණ ජීවිත කතාවක් වශයෙන් ඉදිරිපත් කරන්නට මේ කොළ හරහා පුළුවනි. රාජරත්නම් හමුවීමෙන් පසු මම ඔහුගෙන් ඒ ගැන ද විමසීමි. “මගේ යාළුවෙක් තමයි ඒ වැඩේ කරල දුන්නෙ." මා ඒ දැනගත්තේ කෙසේදැයි ඔහු කලබල විය. ඔහු රාජරත්නම් ගේත් බිරිඳගේත් උපන් වේලාව ලංකාවේ සිටින නක්ෂත්‍ර කරුවෙකු වෙත යවා තිබුණි. නක්ෂත්‍ර කරුවා තල් කොළ මිටියක් ඉදිරිපිට වාඩිවී පිළිවෙලින් ප්‍රශ්න අසන්නට පටන් ගත් අතර මිතුරාට සිදුවූයේ " ඔව් " හෝ " නෑ "හෝ කියන්නට ය. " නම විජේ ද?" "නැහැ." "ඔහුගේ නම කරුන් ද?" "නැහැ." "රාජ් ද?" "ඔව්." එවිට නිවැරදි තල් පත තෝරා ගත් ජ්‍යොතිෂවේදියා රාජරත්නම්ගේ වාසනාව කියවන්නට පටන් ගත්තේ ය . මේ ජ්‍යෝතිෂවේදියා එය විනාඩි 45 ක් ටේප් පටියකට ගබඩා කළේය. රාජ්ට එරෙහිව රජයේ නඩුවක් පවතින බවත්, ඔහු කොටස් ව්‍යාපාරයේ යෙදී සිටින බවත්, ඔහු ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෙක් බවත් එම පටිගත කිරීම්වල සඳහන් විය. ඔහුට තම ව්‍යාපාරය වසා දැමීමට සිදු වූ බවද එහි සඳහන් විය. මම සාමාන්‍යයෙන් සාස්තර කාරයන් විශ්වාස කරන්නේ නැහැ .” රාජරත්නම් පවසයි. "නමුත් මේ තල් කොළ ලියා ඇත්තේ මීට වසර දහස් ගණනකට කලිනුයි. ඒ දවස්වල කොටස් ව්‍යාපාරයක් තිබුණේ නැහැ නෙ. ඒ තොරතුරු මගේ සිත් ගත්තා." ඔහුගේ බිරිඳ "අග්නිදිග ආසියානු රටක" උපත ලබා ඇති බව ද එහි සඳහන් විය. ආශා උපන්නේ පිලිපීනයේය. රාජරත්නම්ට මුහුණ දෙන්නට සිදු වූ තවත් අහඹු සිදු වීම් කිහිපයකි . "මීට අවුරුදු දෙක තුනකට කලින්, මේ සියල්ල සිදුවීමට කලින්, මගේ සහෝදරිය වන්දනී හිටියේ සිංගප්පූරුවේ. ඇයත් මේ දේවල්වලට සම්බන්ධය. ඇය දවසක් මට කතා කළා. " රාජ් මට ඔය කියන පුද්ගලයා හම්බ වුණා. මුහුණෙ උපන් ලපයක් තියෙන , කවදහරි ඔයාව පාවා දෙයි කියලා කියන ඉන්දියානු ගැහැනිය මුණගැහුණා ". ඔහු මෙම අනාවැකිය ගැන වැඩි අවධානයක් යොමු කළේ නැත. "ඔය කාලෙමයි මට අධිචෝදනා ලැබුණේ . රූමි ඛාන්ගේ මුහුණෙහි විශාල උපන් ලපයක් සහිත ඡායාරූපයක් මට හොයා ගන්න ලැබුණා . ඒත් ඒ පින්තූරය මීට බොහොම කලින් ගත්ත එකක්. ඇය එය ශල්‍යකර්මයකින් ඉවත් කර ගෙන තිබුණා." මේ නක්ෂත්‍රකරුවන් ගේ අනාවැකි ඔහුගේ හිතේ විශ්වාසයක් ගොඩ නගන්නට සමත්ව තිබුණි."ඔහු කිව්වා අවසානයේදී මම ජය ගන්නවා කියලා." ඔහු නඩුව වෙනුවෙන් නො නැවතී සටන් කළ යුතු බව ඔහුගේ විශ්වාසය විය. ඊට පටහැනිව දැවැන්ත දුරකතන සංවාද සාක්ෂි තිබියදීත්, තමා නිර්දෝෂී වේ යැයි විශ්වාස කිරීම ප්‍රහේලිකාවකි. මේ ඔහුගේ ගමන් මගය. කිසිවකු නෑසූ ඔහුගේ කතාන්දරයේ ඇතුළු පැත්තය. පරිවර්තනය - පසිඳු කරුණාරත්න
 

More News..