brand logo

ඇමරිකානු ජාතික ක්‍රිකට් සංචිතයට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුත්

27 January 2021

මෙම වසරේ ක්‍රිකට් තරග වාරය සඳහා වන 44 දෙනෙකුගෙන් යුත් ඇමරිකානු ක්‍රිකට් පුහුණු සංචිතය පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කෙරිණි. මෙම සංචිතය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ගයාන් ප්‍රනාන්දුද ඇතුළත් වී තිබීම විශේෂත්වයකි. මේ වනවිට ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දිවි ගෙවන 30 හැවිරිදි ගයාන්, රද්දොළුව පඤ්ඤානන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වේ. ඇමරිකාවට සංක්‍රමණය වීමට ප්‍රථම ශ්‍රී ලංකාවේදී සැරසන්ස්, රාගම ක්‍රීඩා සමාජය සහ ලන්කන් ක්‍රීඩා සමාජයේ පන්දු යවන්නෙකු ලෙසින් ගයාන් කටයුතු කර තිබේ. දකුණත් මඳ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් ඔහු මේ වනවිට ඇමරිකානු සංචිතයට සිය දායකත්වය දක්වයි. සංචිතයට සුදුසුකම් ලැබීමෙන් අනතුරුව ඇමරිකාවේ සිට ‘අරුණ’ වෙත අදහස් දැක්වූ ගයාන් ‘මේ සංචිතයේ හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා. ඒ අතරේ මටත් ඒ අවස්ථාව ලැබුණු එක ගැන සතුටුයි. මගේ උපරිම මහන්සියෙන් මම නියෝජනය කරන රටේ ධජය වෙනුවෙන් මගේ උපරිමය කරන්න මා බලාපොරොත්තු වෙනවා.’ යි පැවසුවේය. ගයාන් හැරුණු විට මෙම සංචිතයට බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු නර්සිං ඩියොනරින්, 2009 විස්සයි 20 ලෝක කුසලානයේ කොදෙව් පිලේ ආරම්භක පිතිකරු සේවියර් මාෂල් සහ ඔස්ට්‍රේලියානු පළමු පෙළ වේග පන්දු යවන්නකු වන කැමරන් ගැනන් ද ඇතුළත්ව සිටී. තවද 2010 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කළ, මේ වන විට 28 හැවිරිදි, වමත් දඟ පන්දු යවන්නකු වූ ෂකර් අහමඩ් සහ ව්‍යාජ වයස ඉදිරිපත් කිරීම හේතුවෙන් 2013 වසරේදී ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ සංචිතයෙන් ඉවත් කළ කරන් විරාදියා ද අදාළ සංචිතයට ඇතුළත් වේ. මේ අතර ඉකුත් වසරේ කැරිබියන් ප්‍රීමියර් ලීගයේ බාබඩෝස් ට්‍රයිඩන්ට්ස් කණ්ඩායමට ක්‍රීඩාකළ පාකිස්තාන වයස අවුරුදු 19 සංචිතයේ සිටි පිතිකරු ෂයාන් ජහංගීර්ද මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටී. මීට ඉහතදී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වූ රෝයි සිල්වාද ඇමරිකානු ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ. චතුර රණසිංහ
 

More News..