brand logo

ඇමතුම් පටිගත කළාට නීතියෙන් කිසිවක් කරන්න බෑ

12 January 2020

දුරකතන සංවාද පටිගත කරමින්, හොර රහසේ අනුන්ගේ දුරකතන සංවාදවලට සවන්දීම ලංකාව වැනි දේශපාලන වෘත්තීයයක් ඇති රටවලට පොදු කාරණයක් නොව ලෝකයේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රට යැයි කියන ඇමරිකාවේද අසන්නට දකින්නට ලැබෙන කතාවකි. හැත්තෑව දශකයේ මුල වූ වෝටර්ගේට් සිද්ධිය ඊට කදිම නිදසුනකි. (මේ පිළිබඳ විශේෂ ලිපියක් 21 වැනි පිටුවේ ඇත). අද පමණක් නොව දුරකතනවලට සවන්දීම, පටිගත කිරීම සම්බන්ධයෙන් අද තරම් තාක්ෂණය දියුණු තත්ත්වයකට පත්ව නොතිබුණ 70 දශකයේදී පවා දුරකතන සංවාදවලට සවන්දුන් අාකාරය වෝටර්ගේට් සිද්ධිය ලෝකයටම අනාවරණය කළේය. දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින්ගේ දුරකතන සංවාදවලට සවන්දීම, පටිගත කිරීම පමණක් නොව ඒ ගැන තොරතුරු එළියට පැමිණීම රජකම පවා අතහැරීමට සිදුවන්නක් බව වෝටර්ගේට් සිද්ධිය මනාව සාක්ෂි දරන්නේය. දුරකතන සංවාද පටිගත කිරීම නිසා ඇමරිකානු ජනාධිපතිවරයෙක්ගේ ජනාධිපති පුටුවට තට්ටු වූ ආකාරයටම දැන් ලංකාවේ දේශපාලනඥයකුගේ දුරකතන සංවාද ප්‍රසිද්ධියට පත්වීම නිසා දේශපාලනඥයින්ගේ පමණක් නොව ඇතැම් නිරූපිකාවන්ගේ හා ප්‍රභූවරුන්ගේ සළුපිළි ගැලවෙමින් තිබේ. දේශපාලන මිතුරුකම් වෙනුවට පසමිතුරුකම් එළියට එමින් තිබේ. ඒ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා දුරකතන සංවාද ප්‍රසිද්ධියට පත්වීමත් සමගය. අනාවරණය වන ආකාරයට රංජන් රාමනායක සියලුම දුරකතන සංවාද පටිගත කරගෙන තිබේ. ජංගම දුරකතනයෙන් ඒවා පරිගණකයට ගෙන පරිගණකයේ ගබඩා කරතබාගැනීම ඔහුගේ සිරිතය. නමුත් ඔහු දුරකතන සංවාද පටිගත කරගෙන තිබුණේ දුරකතනයට කතා කරන අනෙක් පුද්ගලයාගෙන් කිසිදු අවසරයක් හෝ දැනුම්දීමක් නොකරය. මෙසේ තමන් දුන් දුරකතන ඇමතුම පටිගත කරගෙන තිබෙන බව ඇතැම් අය දැනගෙන තිබෙන්නේ ඒවා ප්‍රසිද්ධියට පත්වීමෙන් පසුවය. මේ ආකාරයට තමන් දෙන දුරකතන ඇමතුමක් පටිගත කිරීමට විරෝධය දක්වමින් අධිකරණයට යාමට අවශ්‍ය තරම් නීතිමය ප්‍රතිපාදන ලංකාවේ නීති පද්ධතිය තුළ නැත. මේ නිසා රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකතන සංවාද පටිගත කිරීම් ගැන අවධානය යොමු කළ යුත්තේ සදාචාරය සම්බන්ධයෙන් වන තත්ත්වයක් මත පිහිටා යැයි තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් සමරජීව පැවසුවේය. ඔහු පවසන්නේ දුරකතන සංවාදයක් කතාබහ කරන දෙදෙනාගෙන් එක් අයෙක් පටිගත කිරීම හා තුන්වැනි පාර්ශ්වයක් විසින් අනවසරයෙන් පටිගත කිරීම අතර වෙනසක් තිබෙන බවය. වෝටර්ගේට් සිද්ධියේදී වූයේ තුන්වැනි පාර්ශ්වයක් විසින් අනවසරයෙන් දුරකතන සංවාදවලට සවන්දීමය. ඇතැම්විට බුද්ධි අංශ මගින් විවිධ පුද්ගලයින්ගේ දුරකතනවලට සවන්දීමද මේ ආකාරයට තුන්වැනි පාර්ශ්වයක් විසින් දුරකතනවලට සවන්දීමට උදාහරණයකි. "සදාචාරාත්මකව ගත්තම පුද්ගලයින්‌ දෙදෙනෙක් අතර සිදුවන සංවාදයකදී අනෙක් පුද්ගලයාට දෙයක් කියන්නේ එය රහසක් සේ තබාගැනීමට නොවෙයි. රහසක් සේ තබාගන්නා දෙයක් කියනවා නම් මේක රහසක්, කාටවත් කියන්න එපා කියලා කියනවා. කිසියම් පුද්ගලයෙක්ට දෙයක් කිව්වට පස්සේ ඔහු අහවල් පුද්ගලයා මට මෙහෙම කිව්වා කියලා තවත් අයෙක්ට එය කියනවා. මේකට තාක්ෂණය ආවාට පස්සේ කවුරුන් හෝ දෙයක් කියපු දෙයක් එසේ කීවා කියපු බව පෙන්වීමට දුරකතන ඇමතුම් පටිගත කරගන්න පුළුවන්. නමුත් මෙතැන සදාචාරාත්මක ප්‍රශ්නයක් තිබෙනවා. මේ විදියට ගියොත් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් සමග කිසිම දෙයක් විශ්වාසයක් ඇතිව කතා කරන එකක් නැහැ. ලංකාවේ මේ ආකාරයට අනවසරයෙන් දුරකතන ඇමතුම් පටිගත කිරීමට අදාළව නීතියක් නැහැ. නමුත් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ එවැනි නීතියක් තිබෙනවා. ඒ අනුව තවත් පුද්ගලයෙක්ට තමන් ගන්නා දුරකතන ඇමතුමක් වුවත් අනෙක් පුද්ගලයාගෙන් අවසරයක් ගන්නේ නැතිව පටිගත කිරීම තහනම්" මහාචාර්ය සමරජීව පවසන්නේය. දුරකතන ඇමතුම් පටිගත කිරීම සම්බන්ධයෙන් ලංකාවේ නීතිමය තත්ත්වයක් නොමැති නමුත් එසේ පටිගත කරනු ලබන හඬ පට අධිකරණ නඩු විභාගවලදී භාවිතා කිරීමට තරම් නීතිමය ප්‍රතිපාදන ලංකාවේ නීති පද්ධතියට ඇතුළු වී තිබේ. ඒ 1995 සාක්ෂි විශේෂ විධිවිධාන පනත අනුවය. සාක්ෂි විධිවිධාන පනතේ 4,5 සහ 6 වැනි වගන්තිවලට අනුව ඩිජිටල් ආකාරයෙන් පටිගත කර ඇති දුරකතන සංවාද, හඬ පට, අධිකරණයේ සාක්ෂි ලෙස යොදාගත හැකිය. එසේ සාක්ෂි ලෙස යොදා ගැනීමට නම් හඬ පට කිසිදු විකෘති කිරීමකින් තොරව, සංස්කරණය නොකරනු ලැබූ හඬ පට විය යුතුය. "රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පටය වැනි හඬ පට අධිකරණයේ සාක්ෂි වශයෙන් ගත හැකියි. නමුත් මේ හඬ පට සාක්ෂි ලෙස භාවිතා කිරීම සඳහා ඩිජිටල් වෝහාරික පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. දැන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකතන සංවාද ලක්ෂයකට වඩා වැඩියෙන් තිබෙන බව පැවෙසනවා. එහෙම වුණොත් මේවා ගැන වෝහාරික පරීක්ෂණයක් කරන්න අති විශාල කාලයක් යනවා. ඒ වගේම තමයි දැන් පොලිසිය සතුව තිබෙන හඬ පට සාක්ෂි ලෙස ගන්නවා නම් ඒ බව විත්ති පාර්ශ්වයට දින හතලිහකට පෙර දැනුම් දිය යුතුයි. ඒ සාක්ෂි දින පහළොවකට පෙර විත්ති පාර්ශ්වයට පිටපතක් ලෙස ලබාදිය යුතුයි. දැන් මෙතැනදී තිබෙන දේ තමයි මේවා සාක්ෂි ලෙස ලබාගැනීම සඳහා නඩුවක් තිබෙන්නේ කොහේද කියන එක. තවමත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පට සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරලා නෑ" බටහිර ඉන්දීය කොදෙව්හි ජැමෙයිකා ජාතික තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා පැවසුවේය. ඔහු පවසන්නේ දැනටමත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට විරුද්ධව අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබෙන නිසා අවශ්‍ය නම් මේ සාක්ෂි එහිදී යොදාගත හැකි බවය. කෙසේ වෙතත් අධිකරණයේ විනිසුරුවරුන් සමග කළ සාකච්ඡාද මේ වන විට ප්‍රසිද්ධියට පත්වී තිබේ. මහාධිකරණ විනිසුරුවරියක් සමග පැවැත්වූ දුරකතන සංවාද සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් නොව දැන් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේද විකාශය වෙමින් තිබෙන්නේ එම විනිසුරුවරිය විසින් ලබාදුන් තීන්දු ගැනත් ජනතාව තුළ අවිශ්වාසයක් ඇතිවන ආකාරයටය. "නඩු කටයුත්තකට ව්‍යංගයෙන් හෝ සෘජුව බලපෑම් කරන්න හදනවා නම් ඒ පුද්ගලයාට සිර දඬුවම් ලැබෙනවා. ඒ වගේම අවුරුදු හතකට පුරවැසි අයිතිවාසිකම් නැති කිරීමට හැකියි. ඒ කියන්නේ ඡන්දය ඉල්ලීමට, ඡන්දය ලබාදීමට තිබෙන අයිතිවාසිකම් පවා නැති කළ හැකියි" ජනාධිපති නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණකුලසූරිය පැවසුවේය. කෙසේ වෙතත් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසන්නේ මේ ගැන කටයුතු කිරීමේ හැකියාව ඇත්තේ අධිකරණ සේවා කොමිෂන් සභාවට බවය. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අදාළ විනිසුරුවරිය සම්බන්ධයෙන් කටයූතු කර ඇය නිර්දෝශී නම් ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කළ යුතු බව ඔහුගේ අදහසයි. "රටක පැවැත්ම සඳහා ව්‍යවස්ථාදායක, විධායකය සහ අධිකරණයේ ස්වාධීනත්වය අවශ්‍යයි. මේ කරුණු තුනෙන් එක්ක හරි වැටුණොත් රටට ඒක බලපානවා. පොලිසියේ සිටින නිලධාරීන් අනූ හතරදහසකින් එක් අයෙක් වරදක් කළ විට හැමෝම වැරදිකරුවන් සේ සලකන්න හොඳ නෑ. අපේ රටේ 1833 සිට ක්‍රියාත්මක වෙන ස්වාධීන අධිකරණ පද්ධතියක් තිබෙනවා. මේ දුරකතන සංවාදයක් නිසා අධිකරණය ගැන ජනතාවගේ තිබෙන විශ්වාසය බිඳ වැටිලා අධිකරණයේ ස්වාධීනත්වය බිඳවැටුණොත් රටට එතැනින් එහාට යන්න බැරිවෙනවා. හයිටි රාජ්‍යය අරාජික රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා ඇමරිකාව මුලින්ම කළේ අධිකරණය ගැන ජනතාවට තිබෙන විශ්වාසය නැති කිරීමයි. මේ නිසා අධිකරණ විනිසුරුවන්ගේ සංගම් තිබෙනවා. නීතීඥ සංගම් තිබෙනවා. මේ හැමෝම එකට එකතු වෙලා මේ වෙලාවේ දී වැඩ කළ යුතුයි" මහාචාර්ය මහානාමහේවා පවසන්නේය. මේ ගැන විශාල සංවාදයක් ඇතිවී තිබෙන්නේ දුරකතන සංවාද ප්‍රසිද්ධ මාධ්‍යයට හා සමාජ මාධ්‍ය වෙත පැමිණීමය. මේ දුරකතන සංවාද ප්‍රසිද්ධියට පත්වීම සම්බන්ධයෙන් පොලිසියත්, ආණ්ඩුවේ දේශපාලඥයනුත් දක්වන්නේ එකිනෙකට පරස්පර අදහස්ය. ඇතැම් අවස්ථාවලදී ආණ්ඩුවේ ප්‍රකාශකයන් දෙදෙනෙක් හඬ පට ප්‍රසිද්ධියට පත්වීම සම්බන්ධයෙන් පරස්පර අදහස් දැක්වූවේය. "මේ හඬ පට ප්‍රසිද්ධියට පත්වීම හා ඒවා මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වෙන්නේ කෙසේද යන්න ගැනත් අවධානය යොමු කිරීමට අවශ්‍යයි. ඇමරිකාවේ කිසියම් සෝදිසි කිරීමේ වරෙන්තුවක් ලබාගැනීමේ දී වරෙන්තුව ලබාගන්නේ කුමක් සෝදිසි කිරීමට ද යන්න පැහැදිලිව දැක්විය යුතුයි. දැන් රන්ජන් රාමනායකගේ නිවස පරීක්ෂා කළේ හඬ පට ගන්නද, වෙනත් දේවල් ගන්නද කියන එකත් පැහැදිලි නෑ. කෙසේ නමුත් මේවා ප්‍රසිද්ධ මාධ්‍යයට ලැබෙන්නේ කොහොමද, කියන එක ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම තමයි මේ වගේ දේවල් ප්‍රසිද්ධ මාධ්‍ය වල පළවීමත් ගැටලු සහගතයි"මහාචාර්ය සමරජීව කීවේය. රන්ජන් රාමනායක රටම කැළඹවූ හඬ පට සම්බන්ධයෙන් අනෙක් පාර්ශ්වයන්ට කටයුතු කිරීමට දැන් කිසිදු නීතිමය ඉඩක් ලැබී නැත. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්වත් මිනිසුන්ගේ පෞද්ගලිකත්වය මූලික අයිතිවාසිකමක් සේ පිළිගෙන නැත. මේ නිසා දැන් වහාම කළයුතුව ඇත්තේ පෞද්ගලිකත්වය ආරක්ෂාවන ආකාරයේ නීති ප්‍රතිපාදන ගෙන ඒම බව මහාචාර්ය මහානාමහේවා කීවේය. "පෞද්ගලිකත්වයට තිබෙන අයිතිය පිළිබඳ පනතක් ගෙන ඒම වගේම පෞද්ගලිකත්වය මූලික අයිතිවාසිකමක් බවට පත් කළ යුතුයි. ඒ මගින් පෞද්ගලිකත්වයට හානි වන රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වැනි පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් පාලනය කළ හැකියි" මහාචාර්ය මහානාමහේවා සඳහන් කරන්නේය. සංජය නල්ලපෙරුම
 

More News..