brand logo

ඇමති විමල්ගේ නඩුව පෙබරවාරි 12

27 January 2020

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කාල සීමාව තුළ රුපියල් මිලියන 75 කට අධික වත්කම් හා මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව විභාගයට ගන්නා දිනය නියම කිරීම සඳහා එම නඩුව පෙබරවාරි මස 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් අද (27) නියෝග කරන ලදී. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව පැමිණිල්ල විසින් විත්තිය වෙත ලබාදිය යුතු ලේඛන සියල්ල මේ වනවිට ලබා දී ඇති බව පෙනීයන හෙයින් නඩුව විභාග කිරීම සඳහා දින නියම කිරීමට හැකියාවක් පවතින බව පෙන්වා දුන්නේය. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කර සිටියේ නඩුව විභාගයට අදාළ දින නියම කිරීම සඳහා කෙටි කැදවීමේ දිනයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව නඩුව නැවත පෙබරවාරි මස 12 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින නඩු විභාගය සඳහා දින නියම කරන බව ද සඳහන් කළේය. 2009 වසරේ ජනවාරි මස පළවනදා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා කාලසීමාව තුළ රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල වැටුප් සහ ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ඉකුත් රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි. හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදු කළ බව කියන ඉඩම් මිලදී ගැනීමක් හා නිවසක් තැනීම, වාහනයක් මිලදී ගැනීම සහ මුල්‍ය ගනුදෙනු 26 ක් මුල්කරගෙන මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබේ. (අධිකරණ වාර්තාකරු)
 

More News..