brand logo

ඇමති ප්‍රසන්නට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින නියම වෙයි

18 December 2019

කොළඹ, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කර එහි රැඳී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීමේ කටයුතු ඉටු කිරීම සඳහා ව්‍යපාරිකයෙකුගෙන් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 03 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (18) නියෝග කළේය.. මෙම නඩුව විභාග කරන විනිසුරු මංජුල තිලකරත්න මහතාට වෙනත් නඩු විභාගයකට සහභාගි වීමට නියමිතව තිබෙන බැවින් මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 3 වනදා දක්වා කල් තබන බව නිවේදනය කෙරුණි. නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග අධිකරණය හමුවේ පෙනී සිටියහ. බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කර එහි රැඳී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීමේ කටයුතු ඉටු කිරීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නැමති ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ගලයෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ. එම නඩුවේ සාක්ෂි විභාගය දැනටමත් ආරම්භ වී තිබෙන අතර ඒ යටතේ සාක්ෂිකරුවන් කීප දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබේ. නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වීමට ද අධිකරණය තීරණය කර තිබේ. අධිකරණ වාර්තාකරු
 

More News..