brand logo

අශිලාචාර දේශපාලන ක්‍රමය නිමා කරන්න දැන් කාලය එළඹිලා

13 August 2020

නව රජයේ විදුලිබල අමාත්‍යවරයා වශයෙන් පත්වූ ඩලස් අලහප්පෙරුම මහතා අද (13) පෙරවරුවේ සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය. විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේදී නිල වශයෙන් පැවති මෙම අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, දේශපාලන ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින්, ජනාධිපතිතුමාගේ ඒකායන අධිෂ්ඨානය වන ශ්‍රී ලංකාව සෞභාග්‍යයේ දේශයක් බවට පත්කිරීමේ භාරධූර කර්තව්‍යයට සියලු දෙනාම ඇපකැපවිය යුතු බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අලහප්පෙරුම මහතා, "රට දියුණූ කිරීමේ කටයුත්තේදී මෙ අමාත්‍යාංශයට විශාල කාර්යභාරයක් තිබෙන බව ජනාධිපතිතුමා දැඩි ලෙස විශ්වාස කරනවා. අතිගරු ජනාධිපතිතුමා කෙරෙහි විශාල විශ්වාසයක් තබලා තමයි ජනතාව මෙවර එතුමාව ජයග්‍රහණයට පත්කළේ. එතුමා මා කෙරෙහි එවැනිම විශ්වාසයක් තබලා තමයි, මට මේ වගේ වැදගත් අමාත්‍යාංශයක් පවරලා තිබෙන්නේ. ජනාධිපතිතුමාත් අගැතිතුමාත් මා කෙරෙහි තැබූ ඒ විශ්වාසය ඉතාමත් සුරක්ෂිතව මා ආරක්ෂා කළ යුතුයි. මම මගේ දේශපාලනය ඊට හරස් කරගන්නේ නැහැ. අපේ රට මෙවැනි තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ අශිලාචාර දේශපාලන ක්‍රමයක් නිසා. ඒ ක්‍රමය නිමා කරන්න දැන් කාලය එළඹිලා තිබෙන්නේ. "
 

More News..