brand logo

ඇමතිධුර ගන්නවා එහෙම නෙමෙයි - ඉවත් වූ මුස්ලිම් ඇමැතිවරුන්ට බලපෑම්

22 June 2019

තනතුරුවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමැතිවරුන්ට යළි තනතුරු භාර නොගෙන එක කණ්ඩායමක් ලෙස දිගටම සිටින ලෙසට පාර්ශ්ව ගණනාවකින් බලපෑම් එල්ල වීමත් සමග ඔවුන් දැඩි අර්බුදයකට මුහණ පා ඇති බව වාර්තා වේ. මුස්ලිම් ආගමික නායකයින්, සංවිධානවල බලපෑම වී ඇත්තේ මුස්ලිම් ජනතාවට සිදුවූ අසාධාරණයන්ට හා බලපෑම්වලට පිළිතුරු සැපයීමට නම් ඉදිරියට එක දේශපාලන පෙරමුණක් ලෙස සන්ධාන ගතවී ඡන්දයකට ඉදිරිපත් විය යුතු බවයි. කෙසේ වෙතත් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් නොවීමට තීරණය කර තිබියදී පසුගිය (2) දින රාත්‍රියේ ඒ.එච්.එම්. ෆවුසි මන්ත්‍රීවරයාගේ නිවසේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය කළේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මුස්ලිම් ඇමැතිවරුන්ද තනතුරුවලින් ඉවත් වීමටය. ඒ අනුව මුස්ලිම් ඇමැතිවරුන් සිය තනතුරුවලින් ඉවත් වූ අතර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාටද ඉල්ලා අස්වීමට සිදුවිය. කෙසේ වෙතත් පසුගිය 19 වැනි දින එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කබීර් හෂීම් හා එච්.එම්.එම්. හලීම් යන ඉල්ලා අස්වූ ඇමැතිවරුන් සිය තනතුරුවල යළි දිවුරුම් දුන්නේය. මෙම තත්ත්වය මත මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන රාවුෆ් හකීම් හා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ රිෂාඩ් බදියුදීන්ගේ කණ්ඩායම යළිත් දිවුරුම් දීමට සැලසුම් කළත් ඊට මුස්ලිම් ආගමික සංවිධාන වන ජමියතුල්ලා, සුරා, ආදියෙන් ඊට දැඩි විරෝධයක් මතුව ඇත. එහිදී පක්ෂ දේශපාලනය කෙටි කාලයකට ඉවත දමා මුස්ලිම් පක්ෂ සංවිධානයක් ලෙස කටයුතු කරන ලෙස ඉල්ලීම් කර ඇතත් එහිදී නායකත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නැගී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ද මුස්ලිම් කොංග්‍රසය සාකච්ඡාවක් පවත්වා ඇති අතර බිහි කරන සන්ධානයේ නායකත්ව ගැටලුව නිසා එම සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී ඇත. රාවුෆ් හකීම් හා රිෂාඩ් බදියුදීන් දෙදෙනාම මුස්ලිම් පක්ෂ නායකයින් නිසා පිහිටුවීමට යෝජනා කරන සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුද මතුව තිබේ.
 

More News..