brand logo

ඇප ලැබූ සාෆි වාහනෙන් ගියේ STF එකෙන් කළ දැනුම් දීමක් නිසාලු

16 January 2020

සිසේරියන් සැත්කම් සිදුකරන අතරතුර සිංහල මව්වරුන් වන්ද්‍යාකරණයට ලක් කිරීම ඇතුලූ තවත් චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ නාරි හා ප‍්‍රසව වෛද්‍ය මොහොමඞ් ෂාෆි ෂිහාබ්දීන් සම්බන්ධ නඩුව අද (16) කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී විභාග කෙරිනි. එහිදී එම නඩුව ලබන මාර්තු 17 වන දින නැවත කැඳවන ලෙසට කුරුණෑගල මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කලේය. කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේ ඊයේ විභාගයට ගත් මෙම නඩුවේ විත්තිකාර මොහොමඞ් ෂාෆි වෛද්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නවරත්න බංඩාර ඇතුලූ නීතිඥයින් පිරිසක් පෙනී සිටි අතර අගතියට පත් පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ චානක අබේවික‍්‍රම ඇතුලූ පිරිසක් පෙනී සිටියහ. එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා විසින් ඇමුණුම් තුනක් යටතේ අධිකරණයට කරුණු වාර්තා කල අතර ඔහු කියා සිටියේ කුරුණෑගල ශික්‍ෂණ රෝහලට අමතරව විත්තිකාර වෛද්‍යවරයා කලින් සේවය කල ගලේවෙල හා දඹුල්ල රෝහල් වල ද මව්වරුන් පිරිසක් මෙම වෛද්‍යවරයා විසින් තමන් වඳභාවයට පත්කල බවට පැමිණිලි කොට ඇති බව ය. එම පැමිණිලි සම්බන්ධයෙන් ද විධිමත් පරීක්‍ෂණයක් මේ වනවිට අරඹා ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා අධිකරණය හමුවේ කියා සිටියේය. එමෙන්ම පොලීසිය විසින් විත්තිකාර වෛද්‍යවරයා ඔහුගේ ගැට්ටුවාන ප‍්‍රදේශයේ පිහියි නිවසේ දී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සීසීටීවී දර්ශණ සහිත ඞී.වී.ආර් යන්ත‍්‍රයක් පොලිස් භාරයට ගත් අතර පසුව එය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව භාරගෙන ගෙන ඇති නමුත් පසුගිය කාලයේ මෙම නඩුව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් එම යන්ත‍්‍රය නැවත විත්තිකරුට භාර දී ඇති බව ද හෙතෙම කියා සිටියේය. එම යන්ත‍්‍රය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා අවශ්‍ය බැවින් එය නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව භාරයට ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීමට අනුව මහේස්ත‍්‍රාත්වරයා විසින් අදාල ඞී.වී.ආර් යන්ත‍්‍රය ලබන ජනවාරි 20 වන දිනට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවට නැවත භාරදෙන ලෙසට නියෝග කලේය. මේ අතර පැමිණිලිකාර මව්වරුන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක අබේවික‍්‍රම අධිකරණය කරුණු වාර්තා කරමින් සඳහන් කලේ විත්තිකාර වෛද්‍යවරයා විසින් අගතියට පත් මව්වරුන් බියවද්දන ආකාරයේ විශේෂ වරප‍්‍රසාදර භුක්ති විඳින බවය. එයට උදාහරණයක් ලෙස නීතිඥ චානක අබේවික‍්‍රම පෙන්වා දුන්නේ සැකකාර වෛද්‍යවරයා අධිකරණයෙන් ඇප ලබා පිටව යන අවස්ථාවේ ඔහු අධිකරණ භූමියේ සිට නීතිඥවරයෙකුට අයත් වාහනයක නැගී පිටතට පැමිණි බවයි. එවැනි ක‍්‍රියා තුලින් අගතියට පත් පැමිණිලිකාර මව්වරුන් තැති ගැන්මට ලක්වන බව ද නීතිඥවරයා පැවසීය. එහිදී විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවරත්න බංඩාර කියා සිටියේ තම සේවාදායකයා එවැනි විශේෂ වරප‍්‍රසාද භුක්ති නොවිඳින බවයි. තම සේවාදායකයා එසේ නීතිඥවරයෙකුගේ වාහනය නැගී ගියේ අධිකරණයෙන් ඇප ලබා පිටව එන ඔහුගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අවදානමක් ඇති බව ට පොලිස් විශේෂ කාර්ය බළකාය කල දැනුම් දීමකට අනුව බව හෙතෙම පැවසීය. එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය හෝ වෙනත් කුමන පාර්ශවයක් කුමන තොරතුරු ලබා දුන්නද සැකකරු අධිකරණයේ පවතින සාමාන්‍ය ක‍්‍රමවේදය යටතේ ක‍්‍රියාකල යුතු බව මහේස්ත‍්‍රාත්වරයා පෙන්වා දුන්නේය. අනතුරුව පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥ චානක අබේවික‍්‍රම විසින් සැකකාර වෛද්‍යවරයා විසින් මව්වරුන් වන්ද්‍යාකරණයට ලක් කොට ඇද්දැයි විද්‍යාත්මකව පරීක්‍ෂා කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරීක්‍ෂණයක් සිදුකිරීමට අධිකරණය දුන් නියෝගය තවමත් වලංගු බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු විය යුතු බව ඉල්ලා සිටියේ ය. මෙම කරුණු සියල්ල සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා එම පරීක්‍ෂණය කඩිනමින් අවසන් කොට අදාල පරීක්‍ෂණ වාර්තාව ද සමඟ මෙම නඩුව ලබන මාර්තු 17 වන දින නැවත කැඳවන ලෙසට නියෝග ලබා දුන්නේය. සම්පත් සෙනවිරත්න -කුරුණෑගල
 

More News..