brand logo

ඇඳිරිය ලිහිල් වෙද්දී සුරාසල් අරින්න ජනාධිපති කාර්යාලයෙන් උපදෙස් ඉල්ලයි

05 May 2020

ඇඳිරිනීතිය මැයි 11 වැනිදා ලිහිල් වුවහොත් මත්පැන් අලෙවිසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ උපදෙස් බලාපොරොත්තු වන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසන්නේ මැයි 11 වැනිදායින් අනතුරුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන අධි අවදානම් දිස්ත්‍රික් හැර රටේ අනෙක් දිස්ත්‍රික්වල සුරාසල් විවෘත කිරීම වෙනුවෙන් මෙලෙස උපදෙස් අපේක්ෂා කරන බවයි. මත්පැන් අලෙවිසල් වසා දැමීම නිසා සුරාබදු දෙපාර්තමේන්තුවට දිනකට රුපියල් මිලියන 500ක බදු ආදායමක් අහිමි වේ. නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා පවසන්නේ කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය නිසා දිවයින පුරා සුරාසල් වසා දමා ඇති පසුගිය කාලයේ දෙපාර්තමේන්තුවට අහිමිව ඇති සමස්ත බදු ආදායම රුපියල් බිලියන 20කට ආසන්න බවයි. මේ අතර නුවරඑළිය සහ බදුල්ල වැනි දිස්ත්‍රික්කවල සුරාසල් හිමියන්ට අනුව නැවත සුරාසල් විවෘත කළද පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා අත්‍යවශ්‍ය තොග ඉතිරිව නැත. ඊට හේතුවී ඇත්තේ පසුගිය අප්‍රේල් 20 වැනිදා සුරාසල් විවෘත කළ අවස්ථාවේදී පාරිභෝගිකයන් විසින් සම්පූර්ණයෙන්ම පාහේ මත්පැන් හිස් කර තිබීමයි. නයන තරංග ගමගේ
 

More News..