brand logo

ඇඳිරිනීතිය අස්සේ කොළඹ වාස දේසේ

16 April 2020

කොරෝනා නිසා වැඩියෙන්ම හිර වී සිටින්නේ කොළඹ ජනතාවය. කොළඹ ජනතාව යනුවෙන් කීවාට තත්ත්වය හොඳින්ම දැනෙන්නේ කොළඹ මහ නගර සභා සීමාවේ සිටින වැසියන්ටය. ඔවුන් පොල් ගෙඩියේ සිට සියල්ල ගත යුත්තේ කඩෙන් බැවිනි. ඇඳිරිනීතිය කොළඹට දින නියමයන් නැතිව දමා ඇති බැවින් ඔවුහු ගත කරන්නේ දුෂ්කර දිවියකි. එසේ ගත කරනු ලබන නගරවාසීන් අතරේ කොල්ලුපිටියේ පදිංචි අපේ ලියුම්කාරිණිය ද සිටින්නාය. මේ ඇගේ අත්දැකීම්ය. රස්සාවට කොළඹ පැමිණි මා වසර අටක් පුරා කොළඹ ගත කළේ බෝඩිම් ජීවිතයකි. නිවාඩුවක් ලද විගස පොරමඬුල්ලේ ගමට දිවූ මාගේ බෝඩිම් ජීවිතයට දෙදහස් අට වසරේ දී තිත තැබුණි. ඒ ජීවිත කාලය පුරාම ඉන්න සිටින්නට කොළඹ හදවතේ කොල්ලුපිටියේ හදවතක් සමග ස්ථිර බෝඩිමක් ලැබීම නිසාය. කොටින්ම කියනවා නම් සැමියාගේ නිවස තිබුණේ කොල්ලුපිටියේ අරලියගහ මන්දිරයට අල්ලපු වැටේය. කොල්ලුපිටියේ ස්ථිර වාසස්ථානය කරගත් පසුව වෙනදා මෙන් සිංහල අලුත් අවුරුද්දට හැමදාමත් ගම නතර විය. සමහර වසරවල දී සිංහල අවුරුද්ද ගෙවුනේ කොල්ලුපිටියේ නිවසේය. ඒ කාලයට කොළඹ පාළුවට යයි. ඊට හේතුව කොළඹ වැඩකළ උදවිය අලුත් අවුරුද්දට ගම්රටවල් බලා පිටත් වීමය. මාතර බත්කඩ සති දෙක තුනකටවත් ඇරෙන්නේ නැත. ඒ කාලයට කොළඹ කන්නට කඩ නැත. මැනිං මාර්කට්ටුවෙත් බඩු නැත. පාන් බනිස් ද නැත. කොළඹ පාන් බක්කරවල බොහෝ දෙනෙක් දකුණේ පදිංචිකරුවන්ය. කොල්ලුපිටියේ අයට මෙවර කන්න බොන්න හිඟ වූයේ සිංහල අලුත් අවුරුද්ද ලබන්නට සති දෙක තුනක සිටය. ඒ කොළඹ වැඩ කළ අය ගම්රටවල් බලා ගිය බැවිනි. ඔවුන් ගමේ ගියේ සිංහල අලුත් අවුරුද්ද නිසා නොවේ. දින නියමයක් නැතිව කොළඹට ඇඳිරිනීතිය දැමීම නිසාය. ගමේ අයට වඩා ඇඳිරිනීතිය බලපාන්නේ කොළඹ සිටින අපටය. ඒ පොල් ගෙඩියේ සිට හැම දෙයක්ම කඩෙන් ගන්න ඕනෑ නිසාය. කඩේ කීවාට දැන් කොළඹ කඩ හිඟය. ඇත්තේ සුපර් මාකට්ය ෆුඩ් සිටිය. ගම්වල කඩවල නම් රෑට රෑට පෑලදොරින් ඇර දන්නා හඳුනන ගම්මුන්ට හාල්, සීනි, තේ කොළ, පරිප්පු, පිටි දුන්නද ෆුඩ්සිටිවල එසේ දෙන්නේ නැත. ෆුඩ්සිටි වසා දමා ඇති බැවින් ඔන්ලයින් ක්‍රමයට ඕඩර් කළ යුත්තේය. එහෙත් බොහෝ ෆුඩ්සිටිවලින් ඊට ප්‍රතිචාර නැත. ‘‘දවස් තුනක් තිස්සේ ෆුඩ්සිටියට කෝල් කළා. එක්කෝ එන්ගේජ්, නැත්නම් ආන්සර් කරන්නේ නෑ. අපේ මිතුරියක එසේ කීවාය. ඇතැම් දිනවල එළවළු, මාළු, හාල්, පොල් රැගෙන ලොරි ද චූන්පාන්කාරයෝ ද පාර දිගේ එති. එහෙත් ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව ගැන සහතික දිය නොහැකි බැවින් සමහරු ඔවුන්ගෙන් බඩු ගන්නේ නැත. ඒ අතින් මා වාසනාවන්තියකි. කොළඹ නගරයේ ගෙවතුවලට දුර්ලභ දෙයක් අපේ ගෙවත්තේ ඇත්තේය. කොස් ගසකි. රණවරා ගසක් මෙන්ම අඟුණකොළ ඇතුළු මැල්ලුමට ගත හැකි ගස් වැල් කිහිපයක් අපේ ගෙවත්තේ සරුවට වැවී තිබේ. මේ දිනවල කොස් ගස් වෙනදාට වඩා ඵල දරා ඇත්තේ ස්වභාව ධර්මය යමක් අපිට කියන්නා සේය. ‘‘ මේ වගේ හදිසියකට හරි කන්න වත්තේ මොනවා හරි පැළකර ගනින්’’ කොස් ගස ඒ මේ අත වැනෙමින් කියන්නා සේය. එළවළු ලොරියක්, පොල් ලොරියක්, මාළු ලොරියක් අපේ පැත්තේ ගිය ද වෙනදා මෙන් ඒ බඩු ගෙට ගන්නේ නැත. ඒවා ද ගෙට ගන්නේ නිරෝධායන ක්‍රමයටය. බිස්කට් පැකට්ටුවක් ලැබුණු විට පුංචි පුතු සමඟ ඒවා නිරෝධායනයට ලක් කිරීම තරමක අපහසුය. වෙනදාට නුවරඑළියේ දී අපි ගෙවත්තෙන් කඩා ඒ මොහොතේම කුස්සියට ගන්නා බෝංචි කරල අල ගෙඩිය පොල් ගෙඩිය පවා දැන් කොළඹ දී සබන් දා සෝදා ගන්නේ අනේ අපිට වුණු දෙයක් කියා සිතාය. වෙනදාට නම් හෝදා වේලා ගත්තේ මුළුතැන් ගෙට අවශ්‍ය කුළු බඩු පමණි. ඉස්සර නම් චූං පාන් කාරයන්ගේ සද්දය මර කරච්චලයකි. එහෙත් කොළඹ නගරයේ ඇතැමුන්ට දැන් චූං පාන් සද්දය කනට මී පැණි දමනවා සේය. ඒ සමහරු සති ගණන් ජාතික ආහාරය වූ පාන් දැක නැති බැවිනි. එහෙත් කොරෝනා කොළඹ බය කරන්නට පෙර සතියකට දෙතුන් වරක් පාන් හෝ රෝස් පාන් අපේ ගෙදර වරදින්නේ නැත. නමුත් කොරෝනා කොළඹ ආ දා සිට පාන්, රෝස් පාන් අපේ ගෙදරට ගෙනාවේ නැත. බැරිම තැන පාන් ගෙන්වා ගැනීමට තැනක් සෙව්වේය. අවසානයේ අපිට ප්‍රතිචාර දැක්වූයේ තරු පන්තියේ හෝටලයක බේකරියකිනි. වෙනදාට ගෙදර ඉස්සරහ කඩෙන් පාන් කෑ අපිට තරු පන්තියේ හෝටලයකින් පාන් ගෙන්වා ගැනීමට සිද්ධ විය. කඩේ පාන් රුපියල් පනස් පහකි. තරු පහේ හෝටලයේ බේකරියෙන් ඇනවුම් කළ පාන් ගෙඩියේ මිල රුපියල් තුන්සිය පනහකි. කේක් ගෙඩියක මිලට ගත් පාන් ගෙඩියක් ලැබුණත් එය අපේ පුතාට නම් වටිනා වස්තුවකි. සති ගණනාවකින් පාන් නොකෑ අසල්වැසියකුට අපි අපට ලැබුණු වටිනා වස්තුවෙන් භාගයක් පිරිනැමුවෙමු. පාන් රහට යළි වහ වැටුණු නිවැසියන්ගේ බලවත් පෙරැත්ත මත එහෙත් ගෘහනියක් පමණක් වූ මට බක්කරේ කෙනෙකු වීමට ද සිද්ධ විය. ජංගම දුරකතනයෙන් යූ ටියුබ් බලා හැදූ රෝස් පාන් කෑ මාගේ පුතු කීවේ වචන කිහිපයකි. ‘‘අම්මේ පාන් කාලා මගේ හක්ක රිදෙනවා කියලා.’’ බක්කරේගෙන් නොනැවතුනු මම ගෙවී ගිය දිනක කරණවැමියා බවට ද පත් වූවෙමි. මීට බොහෝ කලකට පෙර මල්ලක කොණ්ඩා කපන අඩු වැඩිය දමාගෙන ගමින් ගමට යන ‘‘මල්ලේ සැලුන්ලා අපේ ගම්වලට ආවෝය. කොණ්ඩේ කපා ඔවුන් අතින් වැඩකරන උපකරණයකින් බෙල්ල වටේ කෙස්ගස් ද ගලවා දැමූහ. ගලවනවාට වඩා උගුල්වන එම උපකරණය පැටි වයසේ දී අප හැඳින් වූයේ ට්‍රැක්ටරය යනුවෙනි. දැන් ට්‍රැක්රටයේ තැන ගෙන ඇත්තේ කොණ්ඩා කපන මැෂින්ය. ගෙදර කොණ්ඩා කපන මැෂිමක් නැති බැවින් මම කතුරක් පනාවක් අතට ගත්තෙමි. සැමියාගේත් පුතාගේත් කොණ්ඩේ කැපුවේ පොලිස් කට් එකටය. පුතාට නම් එය ගැටලුවක් නොවූ මුත් ඉඳහිට හෝ එළිපෙහෙළියට බහින සැමියා නම් මට වචනයක් හෝ නොකියා එළියට යන විට තොප්පියක් දාගෙන යන්නට පුරුදු විය. අපේ ගෙදර වැඩකටයුතු මෙසේ කෙරීගෙන යන අතරේ මේ දිනවල අලුත් අලුත් වෙළෙන්දෝ රැසක් කොළඹ සැරිසරන්නෝය. මේ දිනවල වසා දමා තිබෙන ආයතන හා ගෙවල්වල සරුවට වැවී පල දරා තිබෙන අඹ ගසකින් ගෙඩි කඩා ගෙන පාර දිගේ විකුණන දවසේ වෙළෙඳුන් මෙන්ම කොරෝනා බෙහෙත යැයි කෑ ගසමින් කොහොඹ අතු විකුණන වෙළෙන්දෝ ද ඒ අතර සිටිති. අපි ද මේ වෙළෙන්දන් ගෙන් කොහොඹ අත්තක් අඹ මල්ලක් මිල දී ගත්තෙමු. අඹ නම් ගත්තේ අලයි පරිප්පුයි කාලම එපා වී ඇති නිසාය. අපේ ගෙදර ඉදිරිපිට ආයතනයක පිටුපස කොටසෙහි සරුවට වැවුණු පැපොල් ගස් කිහිපයකි. එහි පල ද අප අවට වැසියන්ගේ දහවල අතුරුපස විය. වෙනදාට නම් පැපොල් ගත්තේ අප සුපිරි වෙළෙඳ සල්වලින් අස්ප ගණන් ගෙවමින්ය. එපමණක් නොවේ කොළඹ සුපිරි මහල් නිවාස සංකීර්ණවල සිටි නෝනා මහත්වරුන්ට මේ දිනවල යන්නට කොළඹ ෆුඩ් සිටි නැත්තේය. ඔවුහු සඳළුතලෙන් බැස මහ පාරට පැමිණ ඩිලිවරි ලොරිවලින් බඩු ගන්නා අයුරු කොළඹ පාරවල්වල මේ දිනවල ඕනෑතරම් දැකිය හැකි අපූරු දසුනකි. වෙනදාට කොස් ගෙඩියක්, අඹ ගෙඩියක් කඩා තනියම භුක්ති විදීම කොළඹ නගරවාසීන්ගේ පුරුද්ද වී තිබුණි. එහෙත් දැන් නම් කොස්, පොළොස් ගෙඩියක් ලැබුණත් කන්නේ බෙදා හදාගෙනය. අපි අසල නිවෙසක වෙසෙන අයෙකු ඔහුගේ ගෙවත්තේ තිබෙන කොස් ගසෙහි ගඩි කඩා අවට නිවැසියන්ට බෙදා දීමට පියවර ගත්තේය. එසේම අපි වෙසෙන කොල්ලුපිටිය ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක් මගින් එම ප්‍රදේශයේ වෙසෙන අයට ආහාර මල්ලක් බෙදා දුන්නේය. කෝටිපති ව්‍යාපාරිකයන් පවා එය ගත්තේ ‘‘සල්ලි තිබුණාට කඩේට ගිහින් බඩු ගන්න පුළුවන්ද’’ යැයි පවසමිනි. එදා වේල සරිකර ගෙන ජීවත් වන අඩු ආදායම්ලාභීන්ට වෙනත් වෙනත් ආධාර ලැබුණි. පසුගිය දිනෙක මෝටර් රථයකින් පැමිණි කාන්තාවන් අප දන්නා අයෙකුට පාන් ගෙඩි තුනක් දී තිබේ. ‘‘කන්න නැති අයට මේක දෙන්න කියාය. වෙනදා ගාලු පාරටත් නොදෙවැනි වාහන ගමන් කරන අප නිවෙස ඉදිරිපිට මාර්ගයෙන් දැන් වාහනයක් ගමන් කරන්නේ ඉඳහිටය. හරියට අවුරුදු දිනවල වාගේය. මේ නිසාම අප හවසට විනාඩි දහයක් පහළොවක් නිවෙස ඉදිරිපිට පාරට වී සිටී, මෙසේ සිටින අතරතුර මාගේ මාමණ්ඩිය දන්නා අයකු පැමිණ ඇසුවේ ‘‘අයියා ඉතිරිවුණ කොටයක්වත් නැද්ද’’ කියාය. මාගේ මාමණ්ඩිය නැතැයි පැවසූ විට ඔහු නැවතත් ඇසුවේ ‘‘පුතා ළඟවත් නැද්ද’’ ලෙසිණි. එයට නැතැයි කියූ විට ඔහු යන්නට ගියේය. අපි දන්නා අයුරින් ඔහු දිනපතාම මත්පැන් පානය කිරීමට හුරු වී සිටින අයෙකි. මෙසේ පාරේ සිටින විට තවත් ඒ ප්‍රදේශයේ සිටින අයෙකු පැමිණ අපිට ඔත්තු සපයයි. ඒ ‘‘අතනට පොල් ලොරියක් ඇවිත් තියෙනවා, හාල් ලොරියක් ඇවිත් තියෙනවා.’’ යැයි කියමින්ය. එසේ ඔත්තු දුන් ඔහු යන්නේ සැමියාගෙන් කීයක් හෝ ලබා ගෙන අපිට ද කුමන හෝ බඩුවක් මුට්ටුවක් ගෙනත් දෙමිණි. ඔහුගේ රාජකාරිය වන්නේ අනුන්ට මුදලට කඩේ යාමය. එවැනි පුද්ගලයින් දෙතුන් දෙනෙක් අපි වෙසෙනා ප්‍රදේශයේ සිටිති. ගෙවී ගිය හයවැනිදා බක් පොහෝ දිනයි. වෙනදාට නම් හුණුපිටිය ගංගාරාමය පන්සලේ ඇඟිල්ලක් ගහන්නට ඉඩ නැත. නමුත් මෙවර පොහෝ දින පන්සල දෙසවත් බැලීමට අපිට නොහැකි විය. පසුගිය වසරේ වෙසක් පොහොය දින ද මා හට අමතක නොවේ. එදින අප පන්සල් ගියේ මුළු සර්වාංගයම පරික්ෂාවට ලක් කර ඉන් නොනැවතී හැඳුනුම්පත ද පරික්ෂාවෙන් අනතුරුවය. මල්වට්ටිය පවා පරික්ෂාවට ලක් කළේය. අපි පමණක් නොව සෑම පෝයටම සිල් ගන්නා සිල් ඇත්තන්ට ද අත් වූයේ එවැනි ඉරණමකි. ඒ පාස්කු දින බෝම්බ ප්‍රහාරය නිසාය. ඒ සිද්ධියට වසරක් පිරුණ බක් මාසේ පෝය දින ද පන්සල් සොහොන්පිටි සේය. පාළුය. වෙනදාට කොල්ලුපිටිය අවට තරු පන්තියේ හෝටල්වලින් ඇසෙන සංගීත රාවය දැන් ඇසෙන්නේ නැත. කැසිනෝ ශාලා ඉදිරිපිට වර්ණවත් කරමින් රාත්‍රියේ දැල්වුණු විදුලි පහන් නිවිලාය. උදේ හවා බේරේ වැව වටා .ව්‍යායාම් කළ බාල, තරුණ, වයසක උදවිය නැත්තේය. ඒ වෙනුවට කොල්ලුපිටියේ ලක්ෂරි එපාර්ට්මන්ට්වල දිවි ගෙවන ඇතැමුහු බැල්කනියට පැමිණ ව්‍යායාම් කරති. මේ සියල්ල වෙනස් කළේ කොරෝනාවය. කොරෝනාව මොන විනාශයක් කළත් නාගරික දිවි ගෙවන බොහෝ පිරිසකට එක හොඳක් කළේය. ඒ තමන්ට පවුලක් ඇති බව යළි මතකයට නැගීමය. තමන්ට අසල්වැසියන් සිටින බව සිහි කිරීමය. කොරෝනාව නිසා කොළඹ ගෙවල්වල දරුවන්ට සිත් සේ සිය දෙමාපියන් සමඟ ගෙවල්වලට වී කාලය ගත කිරීමට අවස්ථාව ලැබී තිබේ. නැති බැරි කම් බෙදා හදා ගැනීමට යළිදු වරක් අසල්වැසියන් ඕනෑ වී ඇති බව කොරෝනාව සිහිකර දී තිබේ. ශිරෝමි රත්නායක ඡායාරූප - ක්‍රිෂාන් කාරියවසම්
 

More News..