brand logo

ඇන්ඩෘෘ කුමරු නිසා රජ පවුල අවුලෙන්

28 November 2019

මේ වනවිට 93 වැනි වියෙහි පසුවන බ්‍රිතාන්‍යයේ මහ රැජින නිස්කලංකව, විවේක සුවයෙන් සිටිය යුතු කාලයකි මේ. නමුත් මේ දිනවල ඇයට ජීවත් වන්නට සිදුව ඇත්තේ කප්පරක් ප්‍රශ්නවලින් හිස පුරවාගෙන බව පෙනේ. ඒ අතරින් බොහොමයක් රටේ ප්‍රශ්න නොව රජ පවුල ඇතුළේම ප්‍රශ්න ය. මේ දවස්වල වඩාත් ම අවධානයට ලක්ව ඇති දරුණු ම ප්‍රශ්නය බවට පත්ව තිබෙන්නේ මහ රැජින ගේ දෙවැනි පුත්‍රයා වන ඇන්ඩෘෘ කුමාරයාට එරෙහිව එල්ල වී ඇති ලිංගික අපචාර චෝදනා නිසා මතුව ඇති අර්බුදයයි. ඇන්ඩෘෘ මෙම අර්බුදයට මුහුණ දුන්නේ මෙයට වසර ගණනාවකට පෙර වර්ජිනියා රොබට්ස් නැමැති, එවකට බාල වයස්කාරියක වූ බව පැවසෙන කාන්තාවක සමග ලිංගිකව හැසිරීම පිළිබඳ චෝදනාවක් නිසා ය. එය ඇයගේ කැමැත්තෙන් සිදූ වූවක් නොවන බවට ද චෝදනා එල්ල විය. මොනම රටක වුවත් බාල වයස්කාරියක සමග, ඇයගේ කැමැත්තක් ඇතිව වුව ද ලිංගිකව හැසිරීම බරපතළ වරදක් වන බව රහසක් නොවේ. ඇන්ඩෲට මෙම චෝදනාව එල්ල කළේ ද මේ වනවිට 35 වැනි වියෙහි පසුවන වර්ජිනියාම ය. වර්ජිනියා පවසන විදියට ඇය ඇන්ඩෲ කුමරුට හඳුන්වා දී ඇත්තේ ඇමෙරිකානු ජාතික බිලියනපතියෙකු වන ජෙෆ්රි එප්ස්ටීන් නැමැත්තා ය. ඔහු ලිංගික වහලියන් ලෙස සේවය කිරීම සඳහා කාන්තාවන් ප්‍රවාහනය (sex trafficking) කළ බවට චෝදනා ලබා සිටි පුද්ගලයෙකි. එප්ස්ටීන් මේ ආකාරයෙන් ප්‍රවාහනය කළ අය අතර බාලවයස්කාරියන් ද බොහොමයක් සිටි බව පැවසිණි. වර්ජිනියා සඳහන් කරන්නේ තමා ද ඒ ආකාරයෙන් සේවයෙහි යොදවන ලද කෙනකු බවයි. අවස්ථා තුනක දී තමා මේ ආකාරයෙන් ඇන්ඩෲ කුමරු සමග ලිංගිකව හැසිරුණු බවත්, එප්ස්ටීන් තමාට ඒ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 10,000 ක (ලංකා රුපියල් ලක්ෂ 17 ක පමණ) මුදලක් ගෙවූ බවත් ඇය පවසා තිබේ. වර්ජිනියා තවදුරටත් චෝදනා කරන ආකාරයට ඇය ඇන්ඩෲ සමග මේ ආකාරයෙන් හැසිරී ඇත්තේ කැමැත්තකින් නොවේ. එප්ස්ටීන් ගේ බලකිරීම මත ය. එයට එකඟ නොවූයේ නම් එප්ස්ටීන් තමා මැරවීමට ඉඩ තිබූ බවට බියක් තමා තුළ තිබූ බව ද ඇය සඳහන් කර ඇත. කෙසේ නමුත්, ඇන්ඩෲ කුමරු දිගින් දිගටම මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කරයි. වසර කිහිපයකට පෙර මුල් වරට එල්ල වූ මෙම චෝදනා මෑතක දී නැවත වරක් වඩාත් උණුසුම් ආකාරයෙන් කරළියට එන්නට පටන් ගත්තේ පසුගිය ජුලි මාසයේ ජෙෆ්රි එප්ස්ටීන් ඇමෙරිකාවේ දී දෙවැනි වතාවටත් අත්අඩංගුවට ගැනීමත් සමග ය. කලින් සඳහන් කළ ලෙසම ඔහුට එරෙහිව නැගුණු චෝදනාව වූයේ බාල වයස්කාරියන් ලිංගික කටයුතු සඳහා ප්‍රවාහනය කිරීම පිළිබඳ චෝදනාවයි. මෙම අත්අඩංගුවට ගැනීමත් සමගම එප්ස්ටීන් සහ ඇන්ඩෲ කුමරු අතර පැවැති මිත්‍රත්වය පිළිබඳව ද, වර්ජිනියා රොබට්ස් පිළිබඳව ද නැවතත් විශාල වශයෙන් අවධානය යොමු වන්නට විය. එප්ස්ටීන්ට එල්ල වූ චෝදනා පිළිබඳ නඩු විභාගය පැවැත්වෙන තෙක් ඔහු රඳවා තබන ලද්දේ නිව් යෝක් නුවර මෙට්‍රොපොලිටන් පුනරුත්ථාපන මධ්‍යස්ථානය නැමැති බන්ධනාගාරයේ යි. නමුත් නඩුව ආරම්භ වීමට පෙර පසුගිය අගෝස්තු 10 වැනි දින ඔහු සිරකුටිය තුළ මියගොස් සිටියදී සොයාගැනීමට හැකි විය. මරණ පරීක්‍ෂණයේ දී ප්‍රකාශ වූයේ එප්ස්ටීන් සිය දිවි හානි කරගෙන ඇති බවයි. එසේ වුවත්, මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් ද විවිධාකාරයේ සැක සංකා මතුවෙන්නට පටන් ගත්තේය. ඇතැමුන් සැක මතු කරන්නට වූයේ මෙය මිනීමැරුමක් විය හැකි බවටය. ඒ නිසා මෙම සිද්ධිය පිටුපස කිසියම් සැඟවුණු කතාවක් තිබිය හැකි බවට අදහස් සංසරණය වන්නට විය. කාලය ගතවෙද්දී මාධ්‍ය තුළ තරමක් යටපත් ව ගිය ඇන්ඩෲ කුමරු පිළිබඳ ගැටලුව නැවතත් කරළියට ගෙන එන්නට බලපෑ සිද්ධියක් පසුගිය සතියේ සිදු විය. එනම් බී.බී.සී. සේවය ඇන්ඩෲ කුමරු සමග පැවැත්වූ පැයක පමණ දීර්ඝ රූපවාහිනි සාකච්ඡාවකි. එය මෙහෙයවන ලද්දේ එමිලි මේට්ලිස් නැමැති මාධ්‍යවේදිනිය විසිනි. ඇය වර්ජිනියා රොබට්ස් ගේ චෝදනා පිළිබඳව දිගින් දිගටම ඇන්ඩෲ ගෙන් ප්‍රශ්න කරනු දැකිය හැකි විය. නමුත් ඔහු ද දිගින් දිගටම එම චෝදනා ප්‍රතික්‍ෂේප කළේය. ඇන්ඩෲ වර්ජිනියා ගේ ඉණ වටා අතක් දමාගෙන ඇය තමා ළඟට කරගෙන සිටින අන්දම දැක්වෙන ඡායාරූපයක් ද පසුගිය කාලයේ විශාල අවධානයක් දිනාගෙන තිබිණි. ඇන්ඩෲ පැවසුවේ මෙවැනි ඡායාරූපයක් ගැන තමාගේ මතකයක් නැති බවයි. ඔහු කියා සිටින්නේ මෙය කිසියම් පාර්ශ්වයක් විසින් සංස්කරණය කරන ලද ව්‍යාජ ඡායාරූපයක් බවකි. මෙම සම්මුඛ සාකච්ඡාව බී.බී.සී සේවය ඔස්සේ විකාශය වීමෙන් පසු ඇන්ඩෲ කුමරු වෙත විශාල විරෝධයක් සහ අප්‍රසාදයක් පළවන අන්දම දැකිය හැකි විය. මේ සාකච්ඡාව හරහා ඔහු තමාට සුදු හුණු ගා ගැනීමට උත්සාහ ගත් බව බොහෝ දෙනෙකු නැගූ චෝදනාවක් විය. එප්ස්ටීන් වැනි කෙනෙකු සමග මිත්‍රත්වයක් පැවැත්වීම ගැන ඔහු පසුතැවිල්ලක් ප්‍රදර්ශනය නොකිරීමත්, එප්ස්ටීන්ගේ ගොදුරු බවට පත් වූ කාන්තාවන් සම්බන්ධයෙන් කිසිදු කම්පාවක්, කනගාටුවක් මෙහිදී ප්‍රකාශ නොකිරීමත් ගැන බොහෝ දෙනා ඔහුට දෝෂාරෝපණය කර තිබෙනු දැකිය හැකි විය. ඇතැමුන් පවසා තිබුණේ එප්ස්ටීන් ගේ ලිංගික කටයුතු සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ඇමෙරිකානු එෆ්.බී.අයි වැනි විමර්ශන අංශ හමුවේ ඔහු පිළිතුරු බැඳිය යුතුව ඇති බවයි. එෆ්.බී.අයි. විමර්ශකයින් ඔහුගෙන් ඉදිරියේදී ප්‍රශ්න කරනු ඇති බවට ද මේ වනවිට අදහස් පළවෙමින් තිබේ. ඇන්ඩෲ කුමරු මේ ආකාරයේ අර්බුදයකට මැදිව සිටිය දී ඔහු ගේ ඇතැම් ව්‍යාපෘතිවලට අනුග්‍රාහකත්වය දක්වමින් සිටි සමාගම් ආදිය එම අනුග්‍රාහකත්වයන් ඉවත් කරගනිමින් සිටිනවා ද යන සැකය ද ඇතැම් මාධ්‍ය මතුකර තිබෙනු දැකිය හැකි විය. ඒ, ඔහුගේ එම ව්‍යපෘතිවලට අදාළ වෙබ් අඩවිවල පළ කර තිබූ ඉහත කී අනුග්‍රාහකයින්ගේ ලාංඡන ඉවත් කර තිබූ බවට තොරතුරු පළවීමත් සමග ය. මේ වනවිට මෙවැනි බොහෝ පාර්ශ්ව ඇන්ඩෲ සමග තිබූ සබඳතාවලින් ඈත් වෙමින් සිටින බවට ද තොරතුරු පළවෙයි. ඔහු උපදේශකත්වය දරන ඇතැම් සමාජ සේවා ආයතන ආදිය ද ඔහු තවදුරටත් එම පදවිවල තබා ගන්නවාද යන්න සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවක් ද වාර්තා වෙයි. රජ පවුලේ නිල කටයුතුවලින් පවා ඔහු ඈත් කළ යුතු බවට ඇතැමුන් යෝජනා කර තිබිණි. ඒ අනුව පසුගිය බදාදා (20) ඇන්ඩෲ කුමරු ප්‍රකාශයක් කරමින් පවසා තිබුණේ තමා රජ පවුලේ නිල කටයුතුවලින් ඉවත්වන බවයි. කෙසේ හෝ වේවා, ඇන්ඩෘා සම්බන්ධ මෙම ආන්දෝලනය නිසා මේ වනවිට රජ පවුල දැඩි අපහසුතාවකට පත්ව සිටින බව පැහැදිලි ය. එය රජ පවුලේ ප්‍රතිරූපයට දැඩි හානියක් සිදු කරන්නක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. පසුගිය කාලය පුරාම රජ පවුල තුළ දිග හැරෙමින් තිබූ ආන්දෝලනාත්මක සිදුවීම් පෙළක් තුළ මෙය ලොකුම ආන්දෝලනය බවට පත්ව තිබේ. සහන් වික්‍රමගේ
 

More News..