brand logo

ඇන්ටන් කවදාවත් අපිව ප්‍රසංගයක් බලන්න එක්ක ගියෙ නෑ

19 June 2019

* ඇන්ටන් ජෝන්ස් සමුගෙන කොච්චර කල්ද? තුන්වැනි අවුරුද්ද පහුවුණා. එයා නැතිවුණේ 2016 පෙබරවාරි 21. * ඔබට ඔහු හමුවෙන්නේ? තලවිල පල්ලියේදි. අපි කතෝලිකයෝ. හැම අවුරුද්දෙම අපේ ගෙදරින් තලවිල පල්ලියට යනවා. ඒ වෙනකොට අපි පොඩි වයසෙ හින්දා අපිට නම් ඉතින් ඔය ගමන හරි විනෝදයි. * ඒ කිව්වේ? අපේ පවුලේ මමියි, පප්පයි, අයියයි. පප්පා මුලින් ආමි එකේ සාජන් මේජර් කෙනෙක්. පස්සෙ එතනින් අයින්වෙලා වෝර්ෆ් චීෆ් ක්ලාක් කෙනෙක් විදිහටත් වැඩ කළා. මමී නම් රස්සාවක් කළේ නෑ. * ඉතින් එහෙම වෙද්දි? අපි හලාවත. අපේ පවුලෙ අයයි නෑදෑයොයි එහෙම තලවිල යන එක සිරිතක්. ඒ ගියාම දවස් දහයක් විතර ඉඳලයි එන්නෙ. ගොඩක් වෙලාවට ඔය ගමන වැටෙන්නෙ අපේ ඉස්කෝලෙ නිවාඩු කාලෙ. * ඒ කියන්නෙ ඔබ ඉස්කෝලෙ ගියේ? හලාවත සාන්ත මේරි කන්‍යාරාමයට. ඉගෙනගන්න කාලෙ මගෙ ආසාව තිබ්බෙ නර්ස් කෙනෙක් වෙන්න. ඒ හින්දා එස්.එස්.සී. විභාගෙට ලියලා ප්‍රතිඵල එනකල් මීගමුවෙ දිසානායක දොස්තර මහත්තයගෙ පෞද්ගලික රෝහලට නර්ස් කෙනෙක් විදිහට ගියා. * තලවලදි ඇන්ටන් හම්බවුණේ කොහොමද කිව්වෙ නෑනෙ? ඒ 1978 අවුරුද්දෙ අපි තලවිල ගිය ගමන. එතකොට මට වයස අවුරුදු 13 යි. ඇන්ටන්ට 18 යි. පිරිමි ළමයි කට්ටියක් එක්ක එයා ඇවිත් හිටියෙ. කොහොම හරි මාත් එක්ක කතා කරන්න පිටිපස්සෙම කැරකුණත් අපි තලවිලින් එනකල් ඇන්ටන්ට මා එක්ක කතා කරන්න බැරිවුණා. * ඊට පස්සෙ? ඊළඟ අවුරුද්දෙ අපි තලවිල යද්දිත් ඇන්ටන් ආවා ඒ යාළුවෝ එක්කම. ඒ වතාවෙනම් ඇන්ටන් කාගෙත් ඇස් වහලා එයාගෙ එඩ්‍රස් එක මට දුන්නා. මං ඒක මගෙ හොඳම යාළුවා කුමාරිකාට දුන්නා. අපි එක්ක හැම සැරේම කුමාරිකාගෙ පවුලෙ අයත් තලවිල ආවා. * එහෙම දීලා? ඉස්කෝලෙදි එයාට ලියුමක් ලියලා යැව්වා. කුමාරිකාගෙ ගෙදර එඩ්‍රස් එක දාලා. ඒකට හැරෙන තැපෑලෙන් උත්තරයක් ආවා ඇන්ටන්ගෙන්. ඒකටත් ලිව්වා. ඒකටත් උත්තර ආවා. එහෙම අපි දෙන්නා දිගටම ලියුම් ලිව්වා. * ඉතින් එහෙම ලියද්දි? මාස හයක් හතක් යද්දි ඉරිදා පල්ලියේ ඉස්කෝලෙ ළඟට ආවා හැම ඉරිදම. ඒත් කතා කරන්න බෑ අයියා හිටපු හින්දා. බැල්මෙන් ඇස්වලින් කතා කළා විතරයි. * ඇන්ටන් ජෝන්ස් කොහේ කෙනෙක්ද? කොළඹ අලුත්කඩේ විල්සන් වීදියේ. ඒ පවුලෙ එකම දරුවා. ඒ ගොල්ලොත් කතෝලික. තාත්තා බර්ගර්. අම්මා සිංහල ඔසරිය අඳින කෙනෙක්. තාත්තා බිස්නස් කළේ. ඇන්ටන් ඉගෙනගත්තේ අලුත් කඩේ සාන්ත සෙබස්තියන් විද්‍යාලෙ. * ඉස්කෝලෙ ගිහින්? එස්.එස්.සී. පාස් කරලා ජුලියස් ඇන්ඩ් ක්‍රීසි කියන සමාගමේ ලඝු ලේඛයෙක් විදිහට රස්සාව කළා. බයිලා ගායක වොලී බැස්ටියන් ළඟට ඇන්ටන් පොඩි කාලෙ ඉඳලා ආවා ගියාලු . * ඇන්ටන් ජෝන්ස් වොලී බැස්ටියන් අඳුරන්නේ? එයාගෙ මාමා කෙනෙක් හිටියා වී.වී. කර්නර් කියලා වොලී බැස්ටියන් ළඟ ඩ්‍රම්ස් වාදකයා විදිහට හිටපු. මාමාත් එක්ක ඉඳහිට ඒ දවස්වල ඇන්ටන් වොලී බැස්ටියන්ගෙ ගෙදර ආවා ගියා කියනවා. ඒ කාලේ ට්‍රෑංගල් එකත් ගහන්න වරින් වර වොලී බැස්ටියන් ඇන්ටන්ට දුන්නලු. * ඊට පස්සෙ? මම අඳුරගන්න කාලෙ වොලී බැස්ටියන්ගෙ සිංදුත් කියනවා. ඒ කාලෙ හැම අවුරුද්දෙම වොලී බැස්ටියන්ලා මුන්නේෂ්වරම් දේවාලෙ ළඟ කරපු ප්‍රසංගෙ බලන්න මං යනවා. ඇන්ටනුත් එයාලා එක්ක ඇවිත් ඒ ප්‍රසංගවලදි කියනවා වොලී බැස්ටියන්ගෙ සින්දු. * මේ සම්බන්ධෙ ඔබේ ගෙදරින් දැනගන්නෙ? මම මීගමුවෙ රෝහලට ගියාට පස්සෙ ඇන්ටන් එක්ක තිබ්බ ආශ්‍රය තව ටිකක් වැඩිවුණා. මම හිටියෙ රෝහලේ ක්වාටර්ස්වල නැවතිලා. ඉතින් වැඩකරන වෙලාවට ඇන්ටන් රෝහලට එනවා. රෝහලට ආව කෙනෙක් වගේ ඇවිත් කතාබහ කළා. කාටවත් සැක හිතුණෙ නෑ. * මීගමුවට ඔහු ආව නිසාද ගෙදර දැනගත්තෙ? 1959 වෙසක් පෝයට ඇන්ටන්ට ඕනවුණා මාව කොළඹ එක්ක ගිහින් කොළඹ වෙසක් පෙන්නන්නත්, ඔහු සින්දු කියන ප්‍රසංගයක් පෙන්නන්නත්. ඩියුටි ඕෆ් වුණ ගමන් මාව එක්ක ගිහින් පහුවදා හරියට ඩියුටි පටන්ගන්න වෙලාවට කලින් මාව මීගමුවට එක්ක එන්න පොරොන්දු වුණා. * ඉතින් එහෙම වුණාද? ඇන්ටන් යාළුවොත් එක්ක ඇවිත් එදා මාව කොළඹ එක්ක ගියා. මං ඩොක්ටර් දිසානායකට කිව්වා යාළුවෝ කට්ටියක් එක්ක වෙසක් බලන්න කොළඹ යනවා කියලා. ඒ ගිහින් වෙසක් බලලා පහුවදා වෙලාවට මීගමුවට එන්න බැරිවුණා. * එහෙම වුණාම? ඩොක්ටර් මගේ ඩියුටියට වෙන කෙනෙක් දාලා. මගේ අන්කල් කෙනෙක් තමයි ඩොක්ටර් දැන හඳුනන්නේ. මගේ පමාව ගැන ඊට පස්සෙ අන්කල්ට කියලා අන්කල් ගෙදරින් අහලා. අන්තිමට අපේ ගෙදරිනුත් මීගමුවේ හොස්පිටල් එකට මං එනකොට ඇවිත් හිටියා. * එයාලා මොකද කිව්වෙ? එයාලට ඕන වුණා හොස්පිටල් එකෙන් මාව අයින් කරලා ගෙදර එක්ක යන්න. මං කැමති වුණේ නෑ. ඒත් අන්තිමට පප්පා එක්ක මට ගෙදර යන්න වුණා. පප්පා පොරොන්දු වුණා ඇන්ටන් ගැන හොයලා හොඳ නම් කැමතිවෙන්න. * එතකොට ඇන්ටන් ජෝන්ස්ගෙ ගෙදරින්? එයාට ගෙදරින් කැමැත්ත දීලා තිබුණා මං ගැන කිව්වම. ඔයාට හොඳ නම් අපිට කමක් නෑ කියලලු ඇන්ටන්ගෙ මමියි, පප්පයි කිව්වෙ. * ඊටපස්සෙ මොකද වෙන්නෙ? පප්පට ඇන්ටන් ගැන නරකක් හොයාගන්න බැරිවුණා. ඒ හින්දා අපි බඳිනවට පප්පා කැමති වුණා. 1960 අගෝස්තු 31 කොටහේන සාන්ත ලුසියා දේවස්ථානයේදී අපේ විවාහය වුණා. * විවාහයෙන් පස්සෙ? ඇන්ටන්ලගෙ අම්මා තාත්තා හිටපු ගෙදර පදිංචි වුණා. එතකොටත් ඇන්ටන් වැඩකළේ ජුලියස් ඇන්ඩ් ක්‍රීසි එකේ. ලොකු පුතා හම්බවෙනකල් අපි මහගෙදර පදිංචි වෙලා හිටියා. * ඒ වෙනකොට ඇන්ටන් ජෝන්ස් ගායකයෙක්? ඒ වෙනකොට එයා ප්‍රසංග වේදිකාවේ ජනප්‍රියයි. ඒකට හේතුව වොලී බැස්ටියන්ගෙ නර්ස් නෝනා, ඝණ්ඨා නාදේ, දික්කසාදේ වගේ සින්දු නිතරම එයාට කියන්න සිද්ධ වුණා. ඒත් මං ඉස්කෝලේ යන කාලෙ තමයි ඇන්ටන් බයිලා ගායකයෙක් විදිහට ගුවන්විදුලියේ ‘ඒ’ ශ්‍රේණියේ ශිල්පියෙක් විදිහට පාස්වුණේ. ඒ කාලෙ පැය බාගෙක බයිලා වැඩසටහනක් ලැබුණා. * ඇන්ටන් දිගටම කිව්වෙ වොලී බැස්ටියන්ගෙ සින්දු විතරමද? ෆ්‍රෙඩී සිල්වා එක්ක යුග ගීයක් කිව්වා "ගල්කිස්ස මුහුදු වෙරළේ ඉරිදට ගිහිල්ලා බලන්න" කියලා. ඒ කාලේ ඒක ගොඩක් ජනප්‍රිය වුණා. ලොකු පුතා ඉපදිලා දෙවැනි පුතා හම්බවෙන්න ඉන්නකොට අපි කවුඩානේ කුලී ගෙදරකට ගියා. * එහෙම ගියාට පස්සෙ? ඒ කාලෙ මෙයා ලංකා බැංකුවේ ලඝු ලේඛක විභාගෙ ලියලා පාස්වෙලා ලඝු ලේඛක රැකියාවක් ලැබුණා. ඒ 1963 දී. ඊට පස්සෙ කාලේ ඇන්ටන් එයාගෙම සින්දු ගොඩක් කිව්වා. ඒ වගේම ඒවා ජනප්‍රියත් වුණා. * ඒ සිංදුවල විශේෂත්වයක් තියෙනවද? ඇන්ටන් ඊට පස්සෙ කියපු ගීවල තේමාව සැබෑ සිද්ධි. කොමල පපා මුකුලු පපා අපේ ළඟට එන්නකෝ, නම් චිත්‍රපට ගීයක්. ඒත් සමන් කුමාර, අඳින්න මිනි ගවුම අඳින්න, අහස් යන්තරේ, ප්‍රේමවතී මනම්පේරි, ශාන්ත අන්තෝනි මුනිතුමා, ආසයි බයයි, කන්තෝරුව කන්තෝරුව මම වැඩකරන වගේ සින්දු ජනප්‍රිය වුණා. * එතකොට වොලී බැස්ටියන්ගේ සින්දු? ඒ වෙනකොට වොලී බැස්ටියන්ගේ සින්දු කිව්වෙම නැති තරම්. ඒ වගේමයි වොලී බැස්ටියන් අසනීපවෙලා හිටියේ. * අසනීප වුණා කිව්වේ? 60 ගණන් වෙද්දි වොලී බැස්ටියන් අසනීප වෙලා හිටියෙ. සින්දු කිව්වෙ නෑ. මෙයා ඉතින් බලන්න එහෙම යනවා. වොලී බැස්ටියන්ගෙ ගෝලයෙක් විදිහට හිටියෙ ඇන්ටන් විතරයි. * ඔහුට ප්‍රසංගවලට යන්න වෙලාව තිබුණද? ප්‍රසංග තිබුණෙ රෑ නේ.සමහර රෑ ප්‍රසංග හතර, පහ, හය , හත වැටෙනවා. ඔය ප්‍රසංගවලට ඒ කාලේ මෙයාලා යන්නෙ සියැක් ගෲප් එකේ බස් එකක. ඒ බස් එකේ ජෝතිලා, මිල්ටන් පෙරේරලා, එම් එස්ලාත් යනවා. හැබැයි ඉතින් මම බැඳලත් හුඟක් කාලයක් යනකල් මිල්ටන්ලා, මොරිස්ලා හැබැහින් දැකල තිබුණෙ නෑ. * එහෙම වුණේ? ඇන්ටන් අපිව කවදාවත් ප්‍රසංගවලට එක්ක ගියෙ නෑ. බැඳලත් අවුරුදු පහළොවකට විතර පස්සෙ එයාලා දැකලා කතාබහ කරලා අඳුනගත්තෙ. * ඒ කාලේ ඔහු ප්‍රසංගවලට නැතුවම බැරි ගායකයෙක්? ගොඩක් ප්‍රසංගවලට ඇරයුම් ලැබුණෙ ඒක වෙන්න ඇති. ඒ වගේම පල්ලියේ මංගල්ල, විවාහ මංගල්ල වැනි කතෝලික ආගමේ සංදර්ශනත් තිබුණා. තව පිටරට සංදර්ශනවලටත් ගියා. ඔය ගිය සංචාරයකදී රෝමයේදී ඇන්ටන්ට පාප් වහන්සේ දැක බලා ගන්නත් ලැබීම ගැන හරි සතුටෙන් හිටියෙ. * ඔය තරම් ප්‍රසංගවලට යෑම රැකියාවට බාධාවක් වුණේ නෑ? එයා කවදාවත් ප්‍රසංගවලට ගියාට රැකියාව අවුල් කරගත්තෙ නෑ. ප්‍රසංගවලට ගිහින් උදේ හයට ආවත් ඊට පස්සෙ වැඩට ගියා. ඇන්ටන් අවුරුදු 60 වෙනකල්ම බැංකුවේ වැඩ කළා. * දිගටම හිටියෙ කුලී ගෙදරද? අපේ බාල දුව හම්බ වෙච්ච මාසෙ 70 අවුරුද්දෙ මේ ඉඩම පර්චස් එක රුපියල් 750 ට ගත්තේ. ඊටපස්සේ හෙමින් හෙමින් ගේ හදාගත්තා. *ඇන්ටන් ජෝන්ස් කිව්වේ බයිලා විතරමද ? චිත්‍රපටයකට ඇන්ජලීන් එක්ක බයිලා නොවන එක සින්දුවක් කියලා තියෙනවා. * ජීවිතේ ඔහුට වෙන්වුණ පුරුදු තිබ්බද? රෑට නිදි මරනවා. ඒත් උදේට පුරුදු විදිහට හිටියා. වැඩිය කෑවේ නෑ. ටිකක් විතර බිව්වා. එයා එක්ක ජීවත්වුණ අවුරුදු 57 ට වෙරිවෙලා වමනෙ දාන්න කවදාවත් ඇන්ටන් බිව්වෙ නෑ. * ඔහොම කාලෙ ගෙවෙද්දි? ලේවල සීනිවලට ඉන්සියුලින් ගත්තා. ඒත් හරිම සතුටින් විනෝදෙන් තමයි එයා හිටියෙ. ඒත් 2010 අවුරුද්දෙ දවසක එයා පදින ලොකු මෝටර් බයිසිකලේ යද්දී එයාගෙ වම් අත පණ නැතිවෙලා දෙපාරක්ම බයික් එකෙන් වැටිලා තියෙනවා. * ඊට පස්සෙ? පහුවදා ‌බෙහෙත් ගන්න යන්න උදේ ලෑස්ති වෙනකොට නාන කාමරේ වැටිලා. ඒ මොහොතෙම නවලෝකෙට අරන් ගියා. සතියක් රෝහලේ හිටියා. කකුල් දෙකෙන් ඇවිදන් ගිහින් කාරෙකට නැග්ග ඇන්ටන් ආපහු ගෙදර ආවෙ රෝද පුටුවෙ. ගෙදර ඉඳන් තව වෙදකම් කරලා කරලා හැරමිටියෙන් ඇවිදින්න හොඳ කරගත්තා. * එදා ඉඳලා ඔහු ගෙදර? අවුරුදු හතක් එහෙම ගෙදර හිටියා. 2016 පෙබරවාරි 15 වගේ ආයෙ රෝහලට ඇතුළු කළා. එතකොට කෑම කන්න බෑ. බීම විතරයි. 18 වැනිදා ගෙදර එක්ක ආවා. ඇඳේ හිටියට සිහිකල්පනාව හොඳට තිබුණා. එදා 21 ඉරිදා උදේ 6ට විතර මට කතා කරලා අයිරිස් මට වතුර තිබහයි කිව්වා. මම ජීවනී වතුර දුන්නා. 9ට විතර උගුරෙන් අමුතු ගොර සද්දයක් ආවා. * ඉතින් ඊට පස්සෙ? අපි ඉක්මනටම ඇන්ටන්ව කළුබෝවිල රෝහලට අරන් ගිහින් නතර කළා. දවල් බලලා හවස එන්නම් කියලා ඔළුවත් අතගාලා ආවේ. අන්කල් ළඟ හිටියා. ඇන්ටන්ව සීටී එකකට අරන් ගියාලු. ඊට පස්සෙ තමයි අමාරුවෙලා තියෙන්නේ. අපිට පණිවිඩේ ලැබිලා එනකොටත් ඇන්ටන් මේ ලෝකෙන් යන්න ගිහින්. * ඔහුගෙ වියෝව ඔබ දරාගත්තෙ? ඒ කම්පනය තවමත් හිත ඇතුළෙ කොහේ හරි තියෙනවා. මං කෑගහලා ඇඬුවා. ඇන්ටන් නැතිවෙනකොට වයස 79ක්. අපි අවුරුදු 57 ක් එක වහලක් යට හිටියා. එතකොට අපේ දරුවො විවාහවෙලා. * ඔබට හයිය වුණේ දූ දරුවෝ? අපිට පුතාලා දෙන්නයි, දුවලා දෙන්නයි. ලොකු පුතා ටිරෝන් ජෝන්ස්, දෙවැනියා රෝෂන් ජෝන්ස්, තුන්වැනි දුව රෝෂිනී ජෝන්ස්. හතරවැනි දුව ප්‍රියංකා ජෝන්ස්. අපේ පුතාලා දෙන්නාම ඉන්නේ පැරිස්වල. දුවලා දෙන්නා ලංකාවේ. රෝෂිණී ලංකා බැංකුවේ වැඩ කරන්නේ. මේ හැමෝටම දූ දරුවෝ ඉන්නවා. * ඔබ තනිකම පාළුව නැතිකර ගන්නෙ? ඇන්ටන්ගෙ සින්දු අහනවා. පල්ලි යනවා. පින් කරනවා. බියංකා නානායක්කාර
 

More News..