brand logo

ඇතැම් ප්‍රදේශවලට පසුගිය මාසවලදී ත්‍රිපෝෂ නෑ

02 June 2020

දිවයිනේ ඇතැම් දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලට පසුගිය මාසයේදී දරුවන්ට ලබාදීම සඳහා ත්‍රිපෝෂ පවා ලැබී නොමැති බව රජයේ පවුල් සෞඛය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු පැවසීය. ගාල්ල දිස්ත්‍රික්කයට පෙබරවාරී මාසයේ සිට ත්‍රිපෝෂ ලැබී නැති බවත්, කෑගල්ල දිස්ත්‍රික්කයට මාර්තු හා අප්‍රේල් මාසවල නොලැබී, මැයි මාසයේදී ලැබී ඇති බවත් ඇය සඳහන් කළාය. සමස්තයක් ලෙස දිවයින පුරා ත්‍රිපෝෂ බෙදාහැර ඇති නමුත් මේ වන විට ත්‍රිපෝෂ නිෂ්පාදනයේ අඩුවක් සිදුව ඇති බව තමාට වාර්තා වන්නේ යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා පැවසුවාය. දරුවන්ගේ පෝෂණය සම්බන්ධ ගැටලුවක් වන බැවින් නිෂ්පාදනයේ යම් අඩුවක් ඇත්නම් ඊට මහා භාණ්ඩාගාරයේ මැදිහත්වීමක් අවශ්‍ය බවද ඇය කීවාය. මේ පිළිබඳව ජාඇල පිහිටි ත්‍රිපෝෂ කම්හලේ වත්මන් සභාපති දීප්ති කුලරත්නගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ බඩ ඉරිඟු සපයා ගැනීම සම්බන්ධ ගැටලුවක් ඇති හෙයින් ත්‍රිපෝෂ නිෂ්පාදනය යම්තාක්දුරකට අඩාළ වී ඇති බවයි. බඩ ඉරිඟු සඳහා රජය විසින් රුපියල් 55 ක පාලන මිලක් නිම කර ඇතත්, වැඩි මිලකට බඩ ඉරිඟු අලෙවි කිරීම නිසා මෙම ගැටලුව මතුව ඇතැයි හෙතෙම කීය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද පැවසීය. "බඩ ඉරිඟු, සත්ව සහ මිනිස් පරිභෝජනය අනුව කොටස් දෙකකට කැඩෙනවා. අපි ගන්නේ මිනිස් පරිභෝජනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු. ඒවා ප්‍රමිතියෙන් ඉහළයි. ඒ නිසා ටෙන්ඩර්වල මිල බඩ ඉරිඟු කිලෝව සඳහා රුපියල් 65-75 කියල සඳහන් වෙනවා. මේක රාජ්‍ය ආයතනයක් නිසා අපි ඉල්ලන්නේ රුපියල් 55ට දෙන්න කියලා. අපි විෂය භාර ඇමැති සහ අමාත්‍යංශ ලේකම්වරයා දැනුවත් කරලා ජනාධිපති ලේකම් කාර්යාලයටත් මේ පිළිබඳව දන්වලා තියෙනවා. මීට කඩිනම් විසඳුමක් ලැබෙයි කියලත් විශ්වාස කරනවා. ඒ විසඳුම ලැබෙන තෙක් අපි නිෂ්පාදනය අඩු කරලා තියෙනවා. කම්හලේ වාර්ෂිකව සිදුකරන අලුත්වැඩියා කටයුතු කිහිපයකුත් මේ දිනවල කෙරෙනවා. නමුත් බෙදාහැරීම් දිගටම සිදුවෙනවා. අපේ ආයතනයේ සේවකයන් 235ක් ඉන්නවා. පිට දිස්ත්‍රික්කවල සිටින 35 ක් විතර කොරෝනා නිසා තාම ආවෙ නෑ. සෞඛ්‍යාරක්ෂාව ගැන හිතලා දිනකට 100කට අඩු සේවක ප්‍රමාණයක් සේවයට කැඳවන්නේ. කම්හල මුළුමනින්ම වැහුවා කියන එක මම හිතන විදියට බඩ ඉරිඟු සැපයුම්කරුවන් විසින් නිර්මාණය කළ දෙයක්". ත්‍රිපෝෂ පැකට්ටු ඇතැම් දිස්ත්‍රික්කවලට පෙබරවාරි, මාර්තු හා අප්‍රේල් මාසවල ත්‍රිපෝෂ නොලැබුණා යැයි කීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ශිරන්තනි මානවඩු
 

More News..