brand logo

ඇත්තටම ලසන්ත මැරුවේ උපාලිට-කීත්ට ගැහුවේ කවුද?

02 November 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා ලෙස සිටි ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය විසින් 2019-04-04 වන දින ඇමරිකාවේ කැලිෆෝනියා අධිකරණය හමුවේ පවරා තිබූ නඩුව නිශ්ප්‍රභ කර තිබේ. මෙය ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් පියා වෙනුවෙන් පවරණ ලද නඩුවක් වුවද රාජපක්ෂ විරෝධී දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ගනු ලැබූ පියවරක් බව පැහැදිලිය. සැබැවින්ම අහිම්සා දියණිය මෙහි සැබෑ කතාව නොදන්නා අහිංසකාවකි. රාවය කර්තෘ ලියූ මේ සටහන හොඳින් කියවා බලන්න. ජනමාධ්‍ය විෂයට අදාළව මේ කාලය තුළ වූ ලොකුම හා බිහිසුණුම සිද්ධිය ලෙස සැලකිය හැක්කේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයයි. එය කවුරුන් විසින් කළා වුවත් එහි වගකීම යා යුත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ගිණුමටය. එහෙත් ඒ සිද්ධියේ දී පවා සිද්ධියට වැඩි වාසියක් ලබා දීම සඳහා හිතා මතා එකතු කළ ව්‍යාජ දේවල් ද තිබුණි. ඒ අතරින් ලසන්ත සිය ඝාතනයට පෙර සිදුවන්නට යන තමන්ගේ ඝාතනය අළලා ලියුවේ යැයි කියා පළ කෙරුණු කතුවැකිය ජනමාධ්‍ය විෂයෙහි මෙම ශතවර්ෂයේ සිදු වූ ලොකුම බොරුව ලෙස සැලකිය හැකිය. එය ලෝකයේ වැඩිම පුවත්පත් සංඛ්‍යාවක පළ වූ කතුවැකිය ලෙස ද සැලකිය හැකිය. එය ලසන්ත සිය ඝාතනයට පෙර ලියන ලද ලියවිල්ලක් ලෙස ලෝකය ද විශ්වාස කළේය. යුනෙස්කෝව ලසන්ත වසරේ ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් දිවි දුන් මාධ්‍යවේදියා ලෙස නම් කිරීමට ගන්නා ලද තීරණය කෙරෙහි ද මෙම කතුවැකිය ද බලපෑවේය. විනිශ්චය මණ්ඩලය ඒ සඳහා ගනු ලැබූ තීරණයේදී මෙම කතුවැකියෙන් තෝරාගත් කොටසක් උපුටා දක්වමින් ප්‍රකාශ කර තිබුණේ අවශ්‍ය වෙතොත් ජීවිතය වුවත් පූජා කිරීමට ඇති කැමැත්ත ඒ මගින් ප්‍රකාශ කර තිබුණු බවය. තමාට අත්විය හැකි ඉරණම මරණය බව ලසන්ත දැන සිටියා විය හැකිය. ඔහු මරණයට බිය නොවූ බව ද සත්‍යයකි. එහෙත් ඔහු ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් හෝ අදහස් පළකිරීමේ නිදහස වෙනුවෙන් හෝ ජීවිතය පූජා කළ ජනමාධ්‍යවේදියකු ලෙස සැලකිය නොහැකිය. ඔහු සැලකිය යුත්තේ මනෝරාජික දේශපාලන අරමුණක් වෙනුවෙන් සටන් කොට ජීවිතය පරිත්‍යාග කළ දේශපාලන මාධ්‍යවේදයකු ලෙසය. (පෑන අහිංසකද? 368 පිටුව) ලසන්තගේ එම කතුවැකිය පිළිබඳව වික්ටර් අයිවන් ලියා ඇති සටහන මෙසේය. ‘‘ සාමාන්‍යයෙන් ලසන්ත සිය පුවත්පතට කතුවැකි ලියන්නකු නොවීය. ඔහුට කතුවැකි ලිවීම සඳහා වෙනම පුද්ගලයකු සිටියේය. සාමාන්‍ය පාඨකයා එය නොදැන සිටියා විය හැකි වුවත් ඔහුගේ සමීප මිතුරෝ එය දැන සිටියේය. ලසන්ත ඝාතනයට ලක් වුවද ලසන්තට කතුවැකි ලියා දුන් පුද්ගලයා ඝාතනයට ලක් නොවීය. එය ලසන්තගේ ඝාතනයෙන් පසුව එම පුද්ගලයා විසින් ලියන ලද කතුවැකියක් ලෙස සැලකිය හැකිය. එම කතුවැකිය ලීවේ ලසන්ත නොවේ නම් ලසන්තගේ මරණයෙන් පසුව වෙනත් පුද්ගලයකු විසින් ලියන ලද කතුවැකියක් ලසන්ත විසින් තම මරණයට පෙර මරණය දැක දැක ලියන ලද කතුවැකියක් ලෙස ප්‍රසිද්ධ කිරීම වංචාවකි. මෙම කතුවැකිය පිළිබඳව ලසන්තගේ බිරිඳ සොනාලි සමරසිංහ හා ලසන්තගේ සහෝදරයා වන ලාල් වික්‍රමතුංග කියා තිබෙන කතාවල ද පැහැදිලි පරස්පරයක් පවතී. (එම 375 - පිටුව) අහිම්සා වික්‍රමතුංග දියණිය මේ කිසිවක් ගැන නොදන්නවා විය යුතුය. එමෙන්ම සිය පියා ඝාතනය කරන ලද්දේ එවකට යුද හමුදාපතිවරයා වූ පුද්ගලයාගේ වුවමනාවට යැයි එවකට විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව ඇය දැන සිටියේ නම් අධිකරණය හමුවට නොයෑමට ඉඩ තිබිණි. අහිම්සා වික්‍රමතුංග විසින් ගෝඨාභයට එරෙහිව මෙම නඩුව පවරන ලද අවස්ථාව වන විට ලසන්තගේ බිරිඳ වූ සොනාලි සමරසිංහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීනියක බව හා ලසන්තගේ වැඩිමහල් සොහොයුරු ලාල් වික්‍රමතුංග ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් බව ද සටහන් කර තැබිය යුතුය. එපමණක් නොව ද නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර්ට හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සේවය කළ නාමල් පෙරේරාට කළ පහරදීම් ද ගෝඨාභය රාජපක්ෂගේ ගිණුමට බැර වී ඇත. එහෙත් සත්‍ය කුමක්ද? අපි යළිත් වික්ටර් අයිවන්ට සවන්දෙමු. කීත් නොයාර්ට හා නාමල් පෙරේරාට එල්ල වූ බිහිසුණු පහරදීම් රටේ ජනමාධ්‍ය නිදහස පිළිබඳව ඉතාමත් නරක හා අඳුරු චිත්‍රයක් ඇති කිරීමට හේතුවිය. එම පහරදීම්වලට ආණ්ඩුවේ සම්බන්ධයක් නොතිබුණු අතර ඒ හා ජනමාධ්‍ය නිදහස අතර ද ඍජු සම්බන්ධයක් නොතිබුණි. ඒ සියල්ල එම ජනමාධවේදීන් විසින් ගණන්කාරයන් දෙදෙනකු අතර කෙරුණු අරගලයක දී ඉන් එක් අයකුට ආධාර කරන්නට යෑම නිසා අනෙක් ගණන්කාරයාගෙන් එල්ල වූ පහරදීමකට සාමාන සිද්ධීන් විය. එම සිද්ධීන් පිටුපස ඇත්ත හේතු මා දන්නා මුත් මෙම මොහොතේ ඒ පිළිබඳ කෙරෙන විවෘත සංවාදයක් පහරදීමට ලක් වූ අය කෙරෙහි තව දුරටත් නරක ලෙස බලපෑ හැකි බැවින් මට ඒ ගැන වැඩිදුර කතා කළ නොහැකිය. (එම- 359) ලසන්ත ඝාතනය, කීත් නොයාර්ට හා නාමල් පෙරේරාට පහරදීම මෙන්ම රිවිර පුවත්පතේ කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහරදීමට ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට මහත් අප කීර්තියක් ගෙන දුනි. ඒවා සියල්ල ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙය වන ලද බව විපක්ෂය අදටත් පවසනු ලැබේ. අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ලියූ ‘අධිෂ්ඨානය’ නමැති කෘතියෙහි උපාලි තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධයෙන් මෙසේ සටහන් කර තිබේ. සරත් ෆොන්සේකා පුම්බා තැබීමටත් නාවික හමුදාවට මඩ ගැසීමටත් පුවත්පත් කලාවේදීන් විසි දෙනෙක් සිටියහ. මෙයින් එක් අයෙක් රිවිර පත්‍රයේ සිටියේය. ඔහු සරත් ෆොන්සේකා පිළිබඳව ලිපි සහ යුදහමුදා මෙහෙයුම් පිළිබඳව පොත් ලීවේය. ඔහු මගේද මිත්‍රයෙක් විය. සරත් ෆොන්සේකා නාවික හාමුදාවට සහ මා හට මඩ ගසන ලිපියකට කරුණු ඔහු වෙත ලබා දෙන අතර ඔහු ලිපිය ලියා සරත් ෆොන්සේකා හට හරි වැරදි බැලීමට නැවත දෙයි. ඉන්පසුව ෆොන්සේකා එම ලිපිය රිවිර පත්‍රයේ පළවන තෙක් බලා සිටියි. නමුත් ඒ මාධ්‍යවේදියා එය පළකිරීමට උත්සාහ ගන්නේ නැත. මේ පිළිබඳව ෆොන්සේකා ඔහුගෙන් විමසූ විට ඉහළින් නැවැත්වූයේ යැයි ඔහු පවසයි. 2009 වර්ෂයේ ජනවාරි මස එක් ඉරිදාවක සැන්දෑවේ 3ට පමණ රිවිර පත්‍රයේ උපාලි තෙන්නකෝන් මහත්තයාගෙන් මා හට දුරකතන පණිවුඩයක් ලැබුණි. ‘‘නාවික හමුදාපතිතුමනි, මට ලැබිලා තියෙනවා ලියමනක්. මෙය හමුදා බුද්ධි අංශයෙන් නිකුත් කර ඇති බවයි පෙනෙන්නේ. ඒත් මට එහි අඩංගු කරුණු ගැන සැකයක් ඇති වුණා. ඒකයි ඔබ තුමන්ගෙන් මේ ගැන විමසන්න මට හිතුණේ. කාරණය මේකයි. මෙහි සඳහන් වෙනවා 2019 ජනවාරි 14 යන දවසේ මුලතිව් ප්‍රදේශයට විශාල අවි ආයුධ තොගයක් ගෙනත් ගොඩබෑවා කියලා. මම දන්න යුදහමුදා නිලධාරීන් කීප දෙනෙක්ගෙන් ඇසුවා. නමුත් ඔවුන් කිව්ව ඔවුනට එහෙම දෙයක් දැනගන්න ලැබුණෙ නැහැ කියල. ඒකයි ඔබතුමාගෙන් මේ පිළිබඳව අහන්න හිතුණේ. ‘‘ඔය කියන දවසෙ අපේ ජෙට්ලයිනර් නෞකාව උතුරට ගිහිල්ල ආපු දවස. ඒ නැව යන දවසේ මුළු නාවික හමුදාවම පුල්මුඩේ ඉඳල මුලතිව් හරහා නගර කෝවිල් වෙනකල් රැකවල් ලාගෙන ඉන්නවා. වැඩිපුර යාත්‍රා ගාණක් යොදවනවා. ජෙට්ලයිනර් නෞකාවේ ආරක්ෂාවට ඒ දවසේ ඔහොම දෙයක් කොහෙත්ම වෙන්න විධියක් නැහැ. ඊට අමතරව දැන් LTTEයට අවි ආයුධ ගෙනියන්න නැවක් නැහැ. ඔවුනට තිබුණු සියල්ලම මුහුදු බත්වෙලා හමාරයි. ඔවුන්ගේ අවසාන පාවෙන අවි ගබඩාව 2007 ඔක්තෝබර් මාසයේ විනාශ වුණා. ඔවුනට වෙන නැව් දැන් නැහැ.’’ ඊට දින තුනකට පසුව පැවැති ආරක්ෂක රැස්වීමේ දී ජනාධිපතිතුමන්ට මෙම සිද්ධිය මම සැලකර සිටියෙමි. එහි දී එතුමා එහි සිටි සියල්ලන්ටම සහයෝගයෙන් වැඩ කිරීමේ වැදගත්කම පිළිබඳව තරයේ අවධාරණය කළේය. මෙහි දී සරත් ෆොන්සේකා කියා සිටියේ යුද හමුදාවේ සහ ඔහුගේ නම කැත කිරීමට කවරෙකු හෝ කරන ලද්දක් බවය. එම කතාව එසේ නිමා විය. ඊට දින 3කට පසුව පැමිණි සෙනසුරාදා දින නාවික හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරියේ නිලධාරීවරයාගෙන් ඇමතුමක් ලැබුණි. ‘‘සර් අපට දැන් තොරතුරක් ලැබුණා. රිවිර පත්‍රයේ කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට මෝටර් සයිකල්වලින් මුහුණ වසාගෙන ආපු පිරිසක් පරදීල ඔහු සහ බිරිඳ රෝහල් ගත කරල කියල. නිල නිවාසයට පැමිණ විනාඩි 5ක්වත් ගියේ නැත. මොහොතකින් ජනාධිපතිතුමාගේ කඩහඬ මගේ දුරකතනයෙන් ඇසුණි. වසන්ත උපාලි තෙන්නකෝන්ට කව්ද ගහල තියෙන්නෙ. එයා මම දන්න කෙනෙක්නෙ’’ ජනාධිපතිතුමා තරමක් කේන්තියෙන් කතා කරන බව මට එකවරම තේරුණි. එවලේම මට තවත් දෙයක් තේරුණි. එනම් ජනාධිපතිතුමා මාව මෙම සිද්ධියට සැකකර ඇති බවයි. කවුරුන් හෝ කැත වැඩක්කර එය මාගේ පිටින් යැවීමට උත්සාහ කර ඇතිබව මට ක්ෂණයකින් අවබෝධ විය. (291 - පිටුව) මෙම සිද්ධීන් පිටුපස ඇති සැබෑ කතාව මෙබඳු වුවද ඒවාට අදටත් චෝදනා ලබන්නේ හිටපු ආරක්ෂක ලේකම්ය. මෙයට හේතුව කුමක්ද? ඊට පිළිතුරු සඳහා ද මෙහි දී උපුටා දක්වන්නේ වික්ටර් අයිවන් ලියූ පෑන අහිංසකද ? නැමැති කෘතියයි. 2009 දී පළ කළ එම කෘතියෙහි ඇතුළත් මෙම නිරීක්ෂණය ඉතා වැදගත්ය. රටේ පැවති යුදමය වටපිටාව තුළ ආණ්ඩුව අස්ථාවර කොට බලය ලබාගන්නා උත්සාහයක එපාජය නිරත වී සිටියේය. යුද්ධය ආණ්ඩුවේ පැවැත්මට අතිවිශාල අවුලකට තල්ලු කිරීමට හේතු වනු ඇතැයි එම පක්ෂය විශ්වාස කළේය. ආණ්ඩුවට ලැබෙන විදේශ ආධාර අහිමි වී ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන තත්ත්වයක් ඇති වී අවසානයේ ජාත්‍යන්තර මැදිහත්වීමක් ද ඇතිවනු ඇතැයි ද ඒ සියල්ල තමන්ගේ යහපතට හේතු වනු ඇතැයි ද කල්පනා කළ එම පක්ෂය සම්බාධක පනවන හා ජාත්‍යන්තර මැදිහත්වීමක් ඇතිවන තත්ත්වයක් දිනා ගැනීම සඳහා උනන්දුවෙන් ක්‍රියා කරන පිරිසක් බවට පත්වූහ. ජාත්‍යන්තරයට රට පිළිබඳ බිහිසුණු චිත්‍රයක් මවාපාන වැඩ පිළිවෙළක් උද්‍යෝගිමත් කොට සැකකරුවකුගේ භූමිකාව රඟපාන තැනකට ගියේය. ජාත්‍යන්තර මැදිහත්වීමක් ඇති වී රටේ ජනාධිපති ආරක්ෂක ලේකම් යුද්ධ හමුදාපති වැනි අය අත්අඩංගුවට ගෙන යුද්ධාධිකරණයකට ඉදිරිපත් කරන තත්ත්වයක් තුළ තමන්ට නැවත ආණ්ඩුබලය ලබාගත හැකිවනු ඇතැයි එම පක්ෂය විශ්වාස කළේය. (එම 356 - පිටුව) මෙහි දී 2010 ජනාධිපතිවරණය ආසන්නයේ සරත් ෆොන්සේකා කළ සුදු කොඩි කතාව කෙරෙහි ද අවධානය යොමු කිරීම වැදගත්ය. උතුරේ ක්‍රියාත්මක කොට තිබූ මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේ දී සුදු කොඩි රැගෙන යටත්වීමට පැමිණෙන කොටි සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල අයට වෙඩි තබා මරා දමන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට පැවසූ බව තමන්ට දැනගන්නට ඇතැයි සරත් ෆොන්සේකා සන්ඩේ ලීඩර් පුවත්පතට ප්‍රකාශකර තිබිණ. මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ විභාග වූ සුදු කොඩි නඩුවේ සාක්ෂි සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆෙඩ්රිකා ජෑන්ස් 2010-10-14 වන දින ප්‍රකාශ කර සිටියේ සතියකට රුපියල් ලක්ෂ දහය බැගින් සති 11 ක් දක්වා කාලයකට එ.ජා.ප.ය විසින් ‘සන්ඩේ ලීඩර්’  පුවත්පතට මුදල් දුන් බවය. මෙලෙස ‘සන්ඩේ ලීඩර්’ පුවත්පත එජාපය විසින් දේශපාලන වුවමනාවන් සඳහා යොදාගත් අයුරින් තමාව ද දේශපාලන වුවමනාවක් සඳහා යොදාගෙන ඇතැයි අහිම්සා වික්‍රමතුංග දියණිය නොදන්නවා වීමට පුළුවන. මේ පිළිබඳ සැබෑ කතාව ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ කර්තෘ ලෙස ලසන්ත වික්‍රමතුංගගෙන් පසු පත් වූ ෆෙඩ්රිකා ජෑන්ස් 2010-01-03 වන දින සිය පුවත්පතේ පළ කළ ලිපියකින් අනාවරණය කර තිබේ. එම සිද්ධිය පිළිබඳ දිව්රුම් ප්‍රකාශයක් වැනි වූ ෆෙඩ්රිකා ජෑන්ස්ගේ ලිපියෙන් තෝරා ගත් කොටස් කිහිපයක් මෙහි පහත දක්වා ඇත. ජනාධිපතිවරණය පිළිබඳව මුලින්ම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ‘සන්ඩේ ලීඩර්’ පාලනාධිකාරය එක්තරා තීරණයක් ගත්තේය. ඒ මැතිවරණයේ දී සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය දැක්වීමටය. පාලනාධිකාරියේ මේ තීරණය හමුවේ ජෙනරාල්ගේ ඡන්ද ව්‍යාපාරය සඳහා පත්‍රයේ විශාල ඉඩක් වෙන්කිරීමට මමද එකඟ වීමි. සරත් ෆොන්සේකාට ප්‍රසිද්ධියක් ලබා දී මේ තීරණය හමුවේ ඔහුගෙන් මම සම්මුඛ සාකච්ඡාවත් ඉල්ලා සිටියෙමි. මේ සම්මුඛ සාකච්ඡාවේ වැදගත්කම නිසා ලීඩර් ප්‍රකාශන ආයතනයේ සභාපති ලාල් වික්‍රමතුංගත් මාධ්‍යවේදියකු වන රක්නිෂ් විජේවර්ධනත් ඡායාරූප ශිල්පී තුසිත කුමාර හා මමත් දෙසැම්බර් 08 වන දා රීඩ් මාවතේ ජෙනරාල්වරායගේ කාර්යාලයට ගියෙමු. ජනාධිපති අපේක්ෂකයකු මෙන්ම යුද වීරයකු ලෙස හඳුන්වා දී සිටි අයකු බලයේ සිටින ජනාධිපතිවරයාගේ සහෝදරයාට අයුධ බිම දමා පැමිණි එල්ටීටීඊ නායකයන් හා ඔවුන්ගේ පවුල් මරා දැමීමට අණ දීම සම්බන්ධයෙන් චෝදනා කරමින් සිටී, එය සුවිශේෂී කතා පුවතකි. මෙය ඒ සතියේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය විය යුතු පුවතක් ලෙස මම වටහා ගතිමි. මේ චෝදනාවල බරපතළ බව නිසා සෙනසුරාදා පුවත්පත මුද්‍රණයට යන්නට ප්‍රථම රාත්‍රී 9.45ට මම යළිත් සරත් ෆොන්සේකා සම්බන්ධ කර ගතිමි. ඒ අවස්ථාවේ කළ විනාඩි 20ක දුරකතන සංවාදය තුළ දී ද ජෙනරාල් සරත් ෆොන්සේකා සිය චෝදනාව සනාථ කර සිටියේය. රජයේ මාධ්‍ය මගින් ජෙනරාල්වරයා ද්‍රෝහියකු ලෙස දිගින් දිගටම හෙළා දකිද්දී ඔහුගේ උපදේශකයන් වූ මංගල සමරවීර, අනුර කුමාර දිසානායක හා විජිත හේරත් විසින් කතාවෙන් කොටසක් හෝ ප්‍රතික්ෂේප කරන ලෙස ඔහුට උපදෙස් දෙන ලදී. දෙසැම්බර් 14 වන දා සඳුදා සන්ඩේ ලීඩර් සභාපති ලාල් වික්‍රමතුංග සමග එපාජයේ ජ්‍යෙෂ්ඨ නායකයන් මංගල සමරවීර හා ජවිපෙ එකතුව සාකච්ඡාවක් පවත්වන ලදී. එහි දී ඔවුන් අවධාරණය කළේ මේ පුවතින් ජෙනරාල්වරයාගේ දේශප්‍රේමී ප්‍රතිරූපයට හානියක් වන බැවින් මේ කතාවේ කොටසක් හෝ ඉල්ලා අස්කර ගැනීම අවශ්‍යම දෙයක් බවයි. ඔහු පසුව එවැන්නක් සිදුනොවූ බවට කළ ප්‍රකාශය ඔහුගේ විශ්වසනීයත්වය විනාශ කළ අතර ඔහු චෝදනා කළ පරිදි සිදුවී ඇතැයි කියන ඝාතන පිළිබඳව පරීක්ෂණයක් සඳහා බලාපොරොත්තු ඇති කිරීමක් විය. පුවත්පත් සාකච්ඡාවෙන් පසුව යටපත් කරනවා හෝ නිවැරදි කරනවා වෙනුවට ජවිපෙ කළේ නොයෙක් කටකතා පතුරුවා හැරීමය. මෙම තත්ත්වය අදටත් එසේම සිදුවන බව ජනතාව නොදනිති. එබැවින් රත්තරන් අශ්වයන් ගැන වාර්තා කිරී‍මේ දී මාධ්‍යවේදීන් ඉතා පරිස්සම් විය යුතුය. නෙල්සන් එස්. පෙරේරා
 

More News..