brand logo

ඇඟේ හයිය තියෙනකම් ක්‍රිකට් ගහනවා

16 January 2021

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය හදිසියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තා. 29 හැවිරිදි වියේ පසුවෙන ශෙහාන්ගේ මේ තීරණය ගැන මෙරට ක්‍රිකට් ලෝලීන් තරමක පුදුමයට පත්වුණා. හිටිහැටියේ මේ ගත්ත තීරණය ගැන අහන්න ඇමරිකාවේ සිටින ශෙහාන්ට අපි කතා කළා. ශෙහාන් ඇයි හදිස්සියේ ඇමරිකාවට ආවේ? විවාහයෙන් පස්සේ අපි ලංකාවේ ඉන්න හිතාගෙන හිටියේ. නමුත් මගේ වයිෆ් කවීෂා කාවින්දිගේ ජොබ් එකෙන් ප්‍රොමෝෂන් එකක් ලැබුණා. ඒ නිසා මේ තීරණය ගත්තා. ඇමරිකාවට එන්නෙ නැතිව වෙන විකල්පයක් තිබුණේ නැද්ද? එයා ගෘහණියක් හැටියට ඉන්න කැමති නැහැ. ඉතින් එයාට අවශ්‍ය විදිහේ ජොබ් එකක් ලංකාවේ ලැබුණේ නැහැ. කවදා හෝ ඇමරිකාවේ එන්න අදහසක් තිබුණා? මගේ හිතේ තිබුණා තව අවුරුදු 4ක් 5ක් ලංකාවට සෙල්ලම් කරන්න. නමුත් වයිෆ්ගේ ජොබ් එකේ තත්ත්වයත් එක්ක තමයි මේ තීරණය ඉක්මනින් ගන්න වුණේ. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ යම් ස්ථාවරත්වයක් හදාගෙන එද්දි ඇමරිකා එන්න ගත් තීරණය ගැන දුකක් ඇති? ලංකාව දාලා ආපු එක ගැන සෑහෙන්න දුකක් තියෙනවා. ඒත් මම සතුටු වෙනවා මට එන්න ලැබුණු දුර ගැන. මොකද මම සෑහෙන්න කැප කිරීම් කරලා, කාගෙවත් පස්සෙන් ගිහින් මාව ටීම් එකට දාන්න කියලා ආපු ගමනක් නෙමෙයි මේක. එහෙම බලද්දි මේ ආපු දුර ගැන මම සතුටුයි. ශෙහාන්ට එක දිගට දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ටීම් එකේ රැඳෙන්න බැරිවුණා කිව්වොත්? මම හොඳට දක්ෂතා අතර ඉන්නකොටත් මාව කණ්ඩායමෙන් ඉවත් කළ අවස්ථා තිබුණා. එහෙම වෙද්දි නැවත කණ්ඩායමේ අවස්ථාවක් ලැබුණත් පීඩනයක් නැතිව ක්‍රීඩා කරන්න මට අවස්ථාව ලැබුණේ නැහැ. මොකද අද මට ටීම් එකේ අවස්ථාවක් ලැබුණොත් ඊගාව අවස්ථාව මට කවදා ලැබෙයිද කියලා මම දන්නේ නැහැ. ඒ කියන්නේ කණ්ඩායමේ ස්ථාවර වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ කියලද? අවුරුදු පහක් තිස්සේ මම ටීම් එකට එනවා යනවා. එකදිගට අත්දැකීමක් ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ මට. මම සහභාගි වූ මුල් තරගවලදී මගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 30 වැඩි අගයක් තිබුණා. ඊට පස්සේ මාව පන්දු යවන්නෙක් හැටියට යොදා ගත්තා. පසුපෙළ පිතිකරුවෙක් හැටියට ක්‍රීඩා කළා. ඒ අතරේ ආයෙත් කණ්ඩායමට එනවා යනවා. එහෙම වුණාම ආත්ම විශ්වාසය ගොඩක් අඩු වුණා. ඇමරිකාවේ ක්‍රිකට් ගහන්නද අදහස? ඔව්. මට ඇමරිකාවෙන් ආරාධනාවක් ලැබිලා තියෙනවා ක්‍රිකට් ගහන්න. මොකද මම අවුරුදු දෙකේ ඉඳන් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. මට ක්‍රිකට් ඇරෙන්න වෙන දෙයක් ගැන හිතන්න අමාරුයි. මගේ ඇඟේ හයිය තියෙනකම් මම ක්‍රිකට් ගහනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නාම එයාලා මොකද කිව්වේ? මම ඊ මේල් පණිවුඩයක් මගින් ඔවුන්ව දැනුවත් කළා. ඒත් ඔවුන් පෞද්ගලිකව තවම මට මොකුත් කියලා නැහැ. ඇමරිකා එන්න කලින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යාළුවන්ව මුණ ගැහුණාද? ඔව් මට පුළුවන් හැමෝම වගේ මුණ ගැහුණා. ඔවුන් මොකද කිව්වේ? ඔවුන්ටත් දුකයි මම ආපු එක ගැන. ඔවුන් හැමෝම සුබ පැතුවා. ඇමරිකා යන්න ගත්ත තීරණය ගැන අම්මා තාත්තා මොකද කිව්වේ? මේක මම තනියම ගත්ත තීරණයක් නෙමෙයි. අම්මා, තාත්තා වගේම අක්කාගෙනුත් අහලයි මම මේ තීරණය ගත්තේ. එයාලත් මගේ තීරණයට කැමැති වුණා. එල්.පී.එල්. එකෙන් පස්සේ විවාහ වුණා. විවාහ උත්සවය ගත්තේ ඇමරිකාවේ නේද? ඔව්. 50කගේ වගේ පිරිසකගේ සහභාගිත්වයෙන්. ලොකු උත්සවයක් ගත්තේ නැහැ. ළඟම අයටත් විවාහයට එන්න වුණේ නැහැ නේද? කොරෝනා තත්ත්වයත් එක්ක මගේ අම්මට තාත්තාටවත් විවාහයට සහභාගි වෙන්න ලැබුණේ නැහැ. ඒ අය නැති නිසා චාම් උත්සවයක් ගත්තේ. බිරිඳ ක්‍රිකට් වලට කැමතිද? එයා ගොඩක් ක්‍රිකට් වලට කැමතියි. එයාගේ කැමතිම ක්‍රීඩකයා කුමාර සංගක්කාර. ඇමරිකාවේ ක්‍රිකට් වල තත්ත්වේ කොහොමද? ඔවුන්ගේ ක්‍රිකට් හොඳ තත්ත්වයකට ගන්න දැන් වැඩ පටන් අරන් තියෙනවා. මම වගේම දැනටමත් විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඇමරිකාවට ඇවිත් ඉන්නවා. ඒ අතරේ නවසීලන්තයේ කොරේ ඇන්ඩ්‍රසන් පවා ඉන්නවා. ලංකාවේ සජිත් ප්‍රනාන්දු ඇමරිකාවේ යොවුන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති? ඔව්. සජිත් සර් මෙහෙ ඉන්නවා. ඔහුවත් මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ශ්‍රී ලංකාවේ ටෙස්ට් වරම් අරගෙනම ඇමරිකා එන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? පළමුපෙළ කොච්චර ලකුණු ගැහුවත්, අඩුම තරමේ මම ටෙස්ට් සංචිතයකටවත් ඇතුළත්වෙලා නැහැ. මගේ පළමු පෙළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය අවුරුදු ගාණක ඉඳන් 42ට වැඩි අගයක් තිබුණා. ඒ නිසා මට හිතුණේ නැහැ මට කවදාවත් ලංකාවේ ටෙස්ට් කැප් එකක් ලැබෙයි කියලා. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයෝ මොකද කිව්වේ ඇමරිකා යනවා කිව්වාම? මම සීනියර් ප්ලේයර්ස්ලා කිහිප දෙනෙක්ට කිව්වා. ඔවුන් හැමෝම කිව්වේ තව ටිකක් බලන්න තිබ්බා කියලා. ඒත් හොඳයි කියලා හිතෙන දේ කරන්න කිව්වා. ඉදිරියේදී ක්‍රිකට්වලින් ලබා ගන්න තියෙන ටාගට් මොනවාද? දැනට ලොකු ටාගට් නැහැ. ලැබෙන තරග හොඳට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ගයාශාන් විතානආරච්චි
 

More News..