brand logo

ඇඟලුම්-තේ-රබර් ඇතුළු අපනයන ආදායම පහත වැටේ

22 May 2020

පසුගිය (2020) අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයනය 64%කින් අඩුවී එම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 277.4ක් බවට පත්ව ඇත. මීට වසරකට පෙර (2019 අප්‍රේල්) එම අගය ඩොලර් මිලියන 772.5ක් බවට වාර්තා විය. අපනයන සංවර්ධන මණ්ඩල වාර්තාවන්ට අනුව 2020 අප්‍රේල් මාසයේ අවසන් වූ වර්ෂයේදී සමස්ත අපනයන ප්‍රමාණය ඩොලර් මිලියන 2853ක් වූ අතර එය ඊට පෙර වර්ෂයේ වාර්තා වූ ඩොලර් මිලියන 3888ට වඩා 26%ක පහත වැටීමකි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, ඉදිකිරීම්, මූල්‍ය සේවා, භාණ්ඩ ප්‍රවාහන සහ සංචාරක යන අංශවලින් සැදුම්ලත් සේවා අපනයනය 2020 අප්‍රේල් දක්වා වූ වර්ෂයේදී ඩොලර් මිලියන 1030ක් ලෙස වාර්තා වී ඇති අතර ඊට පෙර වසරේ එහි අගය ඩොලර් මිලියන 1381ක් විය. ඒ අනුව 2020 අප්‍රේල් මාසය වනවිට සමස්ත භාණ්ඩ හා සේවා අපනයනය ඩොලර් මිලියන 3884.28 දක්වා 26%කින් පහළ ​ගොස් ඇති අතර වසරකට පෙර එහි අගය 5269.28ක් වේ. පසුගිය අප්‍රේල් මාසයේදී ඇඟලුම් අපනයනය 81%කින්ද (ඇ. ඩොලර් මිලියන 356 දක්වා), තේ අපනයනය 20%කින්ද (ඇ.ඩොලර් මිලියන 78.3 දක්වා) සහ රබර් පදනම් කරගත් අපනයනය 53%කින්ද (ඇ. ඩොලර් මිලියන 25 දක්වා) පහත වැටී ඇති අතර මුහුදු ආහාර අපනයනයේ අවගමනය 72%කි. එහි වටිනාකම ඩොලර් මිලියන 6.2ක් ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රාකශ කරයි.   නයන තරංග ගමගේ
 

More News..