brand logo

ඇඟලුම් ක්ෂේත්‍රය නංවන්න අගමැති ඇමරිකා සහාය පතයි

06 May 2020

මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය යළි නගා සිටුවීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ ඇමරිකා එක්සත් ජනපදයේ සහාය ඉල්ලා ඇත. අගමැතිවරයා මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ඇමරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් සමග අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය. කොවිඩ්-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ඇතැම් සමාගම් ගෝලීය ඉල්ලුම සපුරාලීම සඳහා පෞද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) නිෂ්පාදනය කරමින් සිටින බවද අගමැතිවරයා මෙහිදී පෙන්වා දී ඇත. මෙම ඉල්ලීම පිළිබඳව පසු විපරමක් සිදු කිරීමට තානාපතිනිය එකඟතාව පළකර තිබේ. එසේම එක්සත් ජනපදයේ ගැනුම්කරුවන් සම්බන්ධ කිරීම සඳහා තානාපති කාර්යාලය දැනටමත් එරට සමාගම් සමග කටයුතු කරමින් සිටින බවද තානාපතිනිය පවසා ඇත. ශ්‍රී ලංකාවේ බහුජාතික සමාගම් මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම්ද මෙම අර්බුදකාරී අවස්ථාවේ නැවත නැගී සිටීමට දරන උත්සාහයන්ට ආධාර ලබාදීමටද තානාපතිනිය එකඟතාව පළකර තිබේ. කොවිඩ්-19 තත්ත්වයන් පාලනය කළ වහාම දෙරටේම පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳවද මෙහි දී සාකච්ඡා කර ඇත.   නයන තරංග ගමගේ  
 

More News..