brand logo

ඇඟලුම් කම්හල් සේවකයින් සැමට එන්නත දෙනවා

04 February 2021

මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ සියලුම සේවකයන් සඳහා කොවිඩ් 19 එන්නත් සඳහා අරමුදල් සැපයීමට කර්මාන්තය සුදානම් බවත්, අප්‍රේල් හෝ මැයි මාසය වන විට එම ක්‍රියාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු වනබවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ඒ. සුකුමාරන් පැවසීය. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද ‘‘කොවිඩ් 19 අර්බුදයේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශය යථා තත්ත්වයට පත් කිරීම’’ යන මාතෘකව යටතේ පැවැති උත්සවයක් අමතමින් සභාපතිවරයා මේ බව කීය. එමෙන්ම රටේ ආර්ථිකයේ යහපැවැත්ම සඳහා සියලුම අපනයන සමාගම් තම සේවකයන්ගේ ප්‍රතිශක්තිකරණයට ප්‍රමුඛතාව දීම සිදු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. මේ අනුව ඉදිරි මාස තුන ඇතුළත ඇඟලුම් ක්ෂේත්‍රයේ 350,000ක පමණ ශ්‍රම බලකායට කොවිඩ් 19 එන්නත් ලබා දීමෙන් 2021 වසරේදී කර්මාන්තයට මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දිය හැකි බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. තවදුරටත් අදහස් ප්‍රකාශ කරමින් ඔහු කියා සිටියේ ‘‘ඇඟලුම් සංගමයේ සංසදය මේ වන විවටත් රජය සමග සාකච්ඡා ආරම්භ කර තිබේ. ඇඟලුම් කර්මාන්තය පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන් තේරුම් ගත යුතු දෙය නම් අපි මාස හතරකට පෙර ඇණවුම් භාර ගන්නා බවයි. අපිට පොරොන්දු වූ ආකාරයට ඇණවුම් ලබා දීමට නොහැකි නම් සේවාදායකයන් අප කෙරෙහි ඇති විශ්වාසය නැති වී යනු ඇත. විශාලතම ගැනුම්කරු විසින් දැනටමත් අපට අනතුරු අඟවා ඇත්තේ ශ්‍රී ලංකාවට නියත කාලයට ඇණවුම් ලබාදිය නොහැකි නම් ඔවුන් වෙනත් තැනකට යන බවයි’’ යනුවෙනි. නයන තරංග ගමගේ
 

More News..