brand logo

ආහාරපාන සහ මාස තුනක වැටුප් නොලැබු ඉන්දියානු කම්කරුවන්ගේ බලාපොරොත්තුව ඉටු වෙයි

04 December 2018

ආහාරපාන සහ මාස තුනක වැටුප් නොලැබීම නිසා ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා සිටින කම්කරුවෝ තිස් දෙනෙකු පමණ තමන් ඉන්දියාවට පිටත් කර හරින ලෙස ඉල්ලා 04 දින දහවල් නැවතත් ගලේවෙල පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූහ. මෙම ඉන්දියානු කම්කරුවන් ගලේවෙල කොස්පොත ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් අධිබලැති විදුලි රැහැන් සවි කරන පෞද්ගලික ආයතනයක සේවය කරන බවත් ඔවුන් ට මූලික අවශ්‍යතාවයන් නොමැතිව සිය ගමන් බලපත්‍ර වීසා බලපත්‍ර කිසිවක් නොමැතිව සිටින බව පසුගියදා ජනමාධ්‍ය මගින් හෙළිදරව් කෙරිණි. ඒ අනුව පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමේ පිරිස මෙම කණ්ඩායම කඩිනමින් වැටුප් ලබා දී ඉන්දියාවට යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවට පොරොන්දු වී තිබුණද 04 දින වනතුරුත් එය ක්‍රියාත්මක නොවීම නිසා ඔවුහු මෙයාකාරයෙන් පොලිසියට පැමිණ සිටියහ. මෙසේ පැමිණ සිටි ඉන්දියානුවන් කියා සිටියේ පැය කිහිපයක් පොලිස් ස්ථානයේ රැඳී සිටියදී ද සේවයට පැමිණි පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයෙකු පැමිණ හෙට දිනය ඇතුළත මෙම කම්කරුවන් තිස් දෙනා නැවත සිය රට පිටත්කර යැවීමටත් ඔවුන්ගේ මාස තුනක හිග වැටුප් ලබා දීමටත් පොරොන්දු වූ බවය. තමන් රැකියාවට රැගෙන ආ කොන්ත්‍රාත් සමාගම තමන්ට ආහාරපාන ලබා නොදී වැටුප් ලබා නොදී තමන් සතුව ඇති ගමන් බලපත්‍ර වීසා බලපත්‍ර සියල්ල සඟවා ගෙන සිටියදී ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ට ආහාර පාන ලබා දෙමින් සංග්‍රහ කළ බව ය. ශ්‍රී ලාංකික ජනතාවට ගෞරව කරන බව ද ඉන්දියානු ජාතික කම්කරුවෝ පවසති. පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයන් ඉල්ලීම අනුව ඔවුන් පොලීසියෙන් නික්ම නැවතත් ගලේවෙල ප්‍රධාන බස් නැවතුම් පොළට පැමිණ බස් රථයකින් ඔවුන් නැවතී සිටි ගලේවෙල කොස්පොත ප්‍රදේශයේ නිවසට යෑමට සූදානම් විය. ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ලංකාවේ ජනමාධ්‍යවේදීන් නොසිටින්නට තව දුරටත් වැටුප් ආහාර ජලය නොමැතිව තමන්ගෙන් වැඩ ගන්නා බවය .
 

More News..