brand logo

ආසියාව දිනා යද්දී ඇයට අත්පුඩි ගසන්නට කෙනෙක් ගමේ නැත

29 April 2019

‘මට මේ වෙලාවෙ ඕනෙ ගමට ගිහින් ඒ අයත් මේ පදක්කමේ සතුට බෙදාගන්න නෙමෙයි. මගෙ ගමට ගිහින් ඒ අයගේ දුක බෙදාගන්න’ යැයි දෝහා කටාර් සිට අප සමග කතා කරමින් විදූෂා ලක්‍ෂාණි පවසන්නීය. ලොව වැඩිම ජනගහනයක් වෙසෙන ආසියානු මහද්වීපයේ තුන් පිම්ම ඉසව්වෙන් පළමු තුන්දෙනා අතරට පැමිණි ඇයට ඒ ජයග්‍රහණයේ සතුට සිත් සේ විඳගැනීමට අවස්ථාවක් නැත. ඇය ඉකුත්දා දෝහා නගරයේ පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකා ධජය ඉහළට නංවන විට ඇය ඉගෙනුම ලැබූ මීගමුව නිව්ස්ටඩ් බාලිකා විදුහලේ සිසුවියන් කිහිප දෙනකු, ඇයත් සමග එම විදුහලේ ආදි ශිෂ්‍යාවන්ගේ සංගමයේ සිටි සාමාජිකාවන් කිහිප දෙනෙකුද ඇතුළු 350කට අධික පිරිසකගේ වියෝව වෙනුවෙන් මෙරට ජාතික කොඩිය අඩකුඹු වී තිබුණි. විදූෂා, මෙම ආසියානු මලල ක්‍රීඩා ශූරතාවට සහභාගීවීම පිණිස ඉකුත් 18 වැනිදා කටානේ සිය නිවසින් පැමිණෙද්දී ඒ අවට තිබූ සිරිය වෙනුවට අද එහි ඇත්තේ මහා කළුවකි. අඳෝනාවකි. පාළුවකි. වියෝවකි. විදූෂා බෞද්ධ පවුලක දියණියකි. නමුත් ඇගේ පළමු පාසල වන මීගමුව ආවේ මරියා කන්‍යාරාමයත්, ඇය පසුව අධ්‍යාපනය ලැබූ නිව්ස්ටඩ් බාලිකාවත්, ඇගේ ගම් පළාතත් සියල්ල කිතුනු පසුබිමක වූ බැවින් ඇය ඇසුරු කළ වැඩි දෙනා කිතුනුවෝ වූහ. ඇය කිතුණු සංස්කෘතිය ඇසුරු කළාය. ඒ නිසාම එදා මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ ප්‍රහාරයට ලක්වූ කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඇයට නුපුරුදු තැනක් නොවීය. ‘මම ඒ දේවස්ථානයට යාළුවොත් එක්ක ගිහින් තියෙනවා. මම එතන ඉටිපන්දම් පත්තු කරලත් තියෙනවා. මගෙ අනිත් කතෝලික යාළුවො වගේම මමත් මගේ උසස් පෙළ සමත් වෙන්න කියලා ඔය දේවස්ථානයට භාරයක් වුණා. මම අන්තිමට ඒ දේවස්ථානයට ගියේ ඒ භාරය ඔප්පු කරන්න.’ ඇය එලෙස ආ ගිය ඒ දේවස්ථානයට යක්‍ෂයකු කඩා වැදී සිය ගණනින් මිනිසුන් බිල්ලට ගත්බව ඇය දැනගන්නේ අන්තර්ජාලයෙනි. ‘මම මීගමුවෙ නිසා මගෙ යාළුවෝ ගොඩක් මට කෝල් කළා. ඒ අය කිව්වා බෝම්බෙන් වෙලා තියෙන විනාශය. මම අඬ අඬා ගෙදරට කතා කළා. ගෙදර කව්රුත් ෆෝන් එක ඉස්සුවේ නැහැ. මොකද ඒ වෙලාවේ ගෙදර කව්රුත් ඉඳලා නැති නිසා. ඊට පස්සෙ මගෙ යාළුවො මාර්ගයෙන් තමයි ගෙදර අයව සම්බන්ධ කරගත්තේ. මම මෙහේ හිටියත් ඒ සිද්ධියෙ දරුණු බව මට හොඳට දැනුනා’ එදා ෆිලිප් රංජිත් මහතා යටතේ තුන් පිම්ම ප්‍රගුණ කළ විදූෂා, එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ දමන්නේ පාසල් වයසේ ක්‍රීඩිකාවක් වශයෙනි. ඒ වයස අවුරුදු 19දීය. වර්ෂ 2015 දීය. ඒ අනුව එදා මීටර 13.15ක් වූ ශ්‍රී ලංකා වාර්තාව මීටර 13.22ක් ලෙසින් බිඳ දැමූ විදූෂා ඒ වසරේදීම මීටර 13.49ක් ලෙසින් එය තමන් විසින්ම අලුත් කළේය. 2017 වසරේ ඇය මීටර 13.64ක් ලෙස එතෙක් මෙතෙක් ඇගේ හොඳම දක්‍ෂතාව වාර්තා කරන්නේය. නමුත් එම වසරේ පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේදී සෙන්ටිමීටර 9ක අඩුවකින් ඇයට පදක්කමක් මගහැරුණි. මේ අයුරින් ආසියානු මලල ක්‍රීඩා ශූරතා දෙකකදී මගහැරුණු පදක්කම, ඉකුත් ජුලි මාසයේ සිට තමන්ට ලැබුණු කියුබානු ජාතික පුහුණුකරු ලුවිස් මිරෙන්ඩාගේ පුහුණු උපදෙස් සමගින් ඇය මෙවර හොයාගත්තේය. මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාව වෙනුවෙන් බලාපොරොත්තු වූ මට්ටම වූ මීටර 13.40ක පිම්මකට මෙපිටින් හෙවත් මීටර 13.28ක දුරකට විදූෂා සීමාවෙද්දී, ඇය ගැන බලාපොරොත්තු තබමින් ඇයව කටාර් වෙත එවන්නට ගත් තීරණය වෙනුවෙන් ඇය සිය යුතුකම, සාධාරණය නොපිරිහෙලා ඉටු කළාය. තමන් නියෝජනය කරන යුද හමුදා ක්‍රීඩා සමාජයට ඇය සිය යුතුකම ඉටුකළාය. තමන්ට මාසික දීමනාවක් ලබාදෙමින් ජාතික ඔලිම්පික් කමිටුව ලබාදුන් තල්ලුවට ගැළපෙන පිම්මක් ඇය පැන්නාය. මෑත කාලයේ තමන් නව ජවයකින් යළිත් උපන්නාක් මෙන් වූ මීටර 13.53 දුරැති ඒ පිම්මේ ගැම්ම කෙතරම්ද යත් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා වන පරිසාධනය සොයා යෑමට කාලය පැමිණ ඇතිය යන ආත්ම ශක්තියක් ඇය තුළ ඇති විය. නමුත් ඒ සියල්ල සඳහා හේතුවූ පිම්ම පැන අනෙක් අතට හැරෙද්දී ඇගේ කනට ඇසුනේ ජය ඝෝෂාව නොව, තම ගමේ, තම රටේ මිනිසුන්ගේ ශෝකාලාපයයි. ඒ තරමටම ඒ සිදුවීම විසින් ඇගේ සිත වෙලාගෙන තිබුණි. තමන්ගේ පදක්කම වෙනුවෙන් ජාතික ධජය ඉහළට නැගෙද්දී වුව ඇයට සිහිවූයේ මේ ශ්‍රී ලාංකේය ජාතියට වූ විපතයි. ‘අපි අපේ පාසලේ වගේම මීගමුව අවට සිංහල, දෙමල, මුස්ලිම්, බෞද්ධ, කතෝලික... මේ හැමෝම අපි එකට හිටියා. සතුටින් හිටියා. අපි එකිනෙකාට උදව් කරගත්තා. ඒත් මොකක්ද මේ වුණේ..’ ‘මට පුළුවන් ඉක්මනට මගේ රටට යන්න තියෙනවා නම් කියලා තමයි පදක්කම දිනපු හැටියෙත් මට හිතුනේ. මට මගේ පදක්කම ඒ අයට පෙන්නන්න නෙමෙයි ඕනේ. ඒ අයගෙ ළඟ ඉඳගෙන ඒ දුක බෙදාගන්නයි මට දැන් ඕනේ’ තමන් ආසියාව සමග සටනකට එළඹීම පිණිස එදා ගෙදරින් පිටව එද්දී තම ගම්පළාතේ හිතවතුන් තමන්ට සුබපැතුවේ ජාතියක, ආගමක පිහිටා නොවේ. නමුත් ඒ සර්ව ආගමික, ආශිර්වාදය මතින් ආසියාවේ පළමු තිදෙනා අතරට පැමිණ, ඒ දිනූ පදක්කම රැගෙන ඇයට පා තබන්ට සිදුවන්නේ ජාතිය, ආගම් වියරුවේ විපාකය ලෙසින් ගෙයක් ගෙයක් පාසා අඳෝනාවක් ඉතිරි වූ ගමකටය. ඉන්ද්‍රජිත් සුබසිංහ
 

More News..