brand logo

ආසියාවේ මහා ක‍්‍රීඩා මංගල්‍යය හෙට ඇරඹෙයි

17 August 2018

ශ‍්‍රී ලංකාවෙන් ඉතිහාසගත සහභාගීත්වයක්

ආසියානු ක‍්‍රීඩාවේ බලපෙරළිකාරයන් කවුරුන්දැයි යන වග තීරණය කරන 18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙල හෙට (18දා) ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ආරම්භ වේ. තරගාවලියේ සමාරම්භක උළෙල පමණක් හෙට දිනයේ සිදුවන අතර නිල වශයෙන් ඉසව් ආරම්භවීම අනිද්දා සිදුවේ. සැප්තැම්බර් 2 දා දක්වා ක‍්‍රියාත්මක මෙම ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩිකාවන් 43 ක්, ක‍්‍රීඩකයින් 134 ක් ඇතුලූව 255 කින් යුත් කණ්ඩායමක් යොමු කිරීමට බලධාරීන් පියවරගෙන තිබේ. එය මෙතෙක් ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු ක‍්‍රීඩා උළෙලක් සඳහා සහභාගී වන විශාලතම කණ්ඩායම වශයෙන් ඉතිහාසයට එක්විය. රටවල් 45 ක සහභාගීත්වයෙන් ජකර්තාහි ජෙලොරා බන්ග් කර්නෝ ක‍්‍රීඩාංගණය ප‍්‍රධානකොට ගනිමින් මෙවර තරගාවලිය පැවැත්වේ. එහිදී ක‍්‍රීඩා 40 ක ඉසව් 465 ක් නියෝජනය කරමින් පදක්කම් උදෙසා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ කරට කර සටනක නියැලීමට නියමිතය. අවසන් වරට 2014 වසරේ දකුණු කොරියාවේ පැවැති 17 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලට සාපේක්ෂව මෙවර අලූතින් ක‍්‍රීඩා 4 ක් (මාෂල් ආට්, යාන්ත‍්‍රික ක‍්‍රීඩා, හෙල් තරණය, කාඞ් ක‍්‍රීඩා) සහ ඉසව් 26 ක් තරගාවලිය හා එක් වී තිබේ. මෙතෙක් පවත්වා තිබෙන ආසියානු ක‍්‍රීඩා උළෙල 17 ටම සහභාගී වී සිටින ශ‍්‍රී ලංකාව ඉදිරියේ මේ වනවිට රන් 11 ක්, රිදී 11 ක් සහ ලෝකඩ 24 ක් සමග සටහන් වී තිබෙන මුලූ පදක්කම් ගණන 46 කි. ඉකුත් ආසියානු ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් 80 ක නඩයක් සහභාගී වුවද ඔවුන්ට එහිදී දිනාගත හැකි වූයේ රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් පමණි. එම රන් පදක්කම පිරිමි ක‍්‍රිකට් කණ්ඩායම විසිනුත්, ලෝකඩ පදක්කම කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම විසිනුත් දිනා තිබෙන අතර මෙවර ආසියානු ක‍්‍රීඩා උළෙලෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉවත්කර තිබීම කැපී පෙනෙන කාරණයක් බවටද පත්ව ඇත.
 

More News..