brand logo

ආසියානු වොලිබොල් ක‍්‍රීඩාවේ නව ගමනක් - සැප්තැම්බරයේ ශ‍්‍රී ලංකාවෙන් ඇරඹේ

16 August 2018

ආසියානු කලාපීය වොලිබෝල් ක‍්‍රීඩාවේ තරගකාරිත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් අලූත් ආකෘතියකින් පළමු වරට පවත්වනු ලබන ‘ආසියානු අභියෝගතා කුසලාන’ පිරිමි වොලිබෝල් තරගාවලිය සඳහා සත්කාරක රට ලෙසින් ශ‍්‍රී ලංකාව ඉදිරිපත්වී සිටියි. තරගාවලිය රටවල් 8ක සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 15 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙතෙක් කණ්ඩායම 16ක සහභාගිත්වයෙන් පැවැති ආසියානු ශූරතා වොලිබෝල් තරගාවලිය නව තරග ආකෘතියට අනුව මෙම වසරේ පටන් ‘ආසියානු කුසලාන’ තරගාවලිය සහ ‘ආසියානු අභියෝගතා කුසලාන’ තරගාවලිය ලෙස තරගාවලි දෙකක් වශයෙන් ක‍්‍රියාත්මක කෙරේ. එහිදී ශ්‍රේණි ගත කිරීම් අනුව ආසියාවේ පළමු කණ්ඩායම් 8 ‘ආසියානු කුසලානය’ සඳහා තරග වදින අතර අංක 9 සිට 16 දක්වා ශ්‍රේණිගත වන කණ්ඩායම් ‘ආසියානු අභියෝගතා කුසලානය’ සඳහා තරග වදිති. ‘ආසියානු අභියෝගතා කුසලාන’ තරගාවලියේ අවසන් මහා තරගයට පැමිණෙන කණ්ඩායම් දෙක, ආසියාවේ පළමු කණ්ඩායම් 8 තරග වදින ‘ආසියානු කුසලාන’ තරගාවලිය සඳහා උසස්වීම් ලබන අතර එම තරගාවලියේ අවසන් ස්ථාන දෙකට පත්වන කණ්ඩායම් ඊළග අවස්ථාවේ ‘ආසියානු අභියෝගතා කුසලානය’ සඳහා තරග වැදීමට සිදුවේ. ඉකුත් ආසියානු ශූරතා වොලිබෝල් තරගාවලියේදී 14 වැනි ස්ථානයේ ශ්‍රේණිගත වූ ශ‍්‍රී ලංකාවට මෙවර සත්කාරකත්වයේ වාසියද සමගින් මෙම තරගාවලියේ පළමු ස්ථාන දෙක අතරට පැමිණ ආසියාවේ පළමු කණ්ඩායම් 8 අතරට හෙවත් ‘ආසියානු කුසලාන’ තරගාවලියට සුදුස්සන් වීමේ වැඩි සම්භාවිතාවක් හිමිවේ. ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම තරගාවලියේ අනුග‍්‍රාහකයා ලෙස ඩයලොග් ආසියාටා සමාගම ඉදිරිපත්ව සිටියි.
 

More News..