brand logo

ආසියානු ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරග හෙට ඇරඹේ

24 August 2018

ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවැත්වෙන 18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරග ඉසව් හෙට (25දා) ආරම්භ වේ. ඒ අනුව අරුණ දර්ශන, කාලිංග කුමාරගේ (මීටර් 400), හිරුණි විජේරත්න (මීටර් 10,000)  සහ ජනක ප‍්‍රසාද් විමලසිරි (දුර පැනීම) මලල ක‍්‍රීඩා ආරම්භ වෙන පළමු දිනයේදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට සුදානමින් සිටියි. මීටර් 400 ඉසව්වේ මූලික වටයේ තරග ශ‍්‍රී ලංකා වේලාවෙන් හෙට පෙ.ව. 11.10 ටත්, එම ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරග හෙට ප.ව. 8.40 ටත් පැවැත්වීමට නියමිතය. ප.ව. 6.45 ට පැවැත්වෙන දුර පැනීමේ ඉසව්වේ මූලික වටයේ තරගයට ජනක ප‍්‍රසාද් සහභාගී වන අතර හිරුණි සිය මීටර් 10,000 ඉසව්ව සඳහා ප.ව.7.45 ට සහභාගී වේ. මේ දක්වා මෙම ක‍්‍රීඩා උළෙලේ කිසිදු පදක්කම් අවස්ථාවක් හිමිව නැති ශ‍්‍රී ලංකාවට ඉතිරිව ඇති ඉහළම පදක්කම් බලාපොරොත්තුව වන්නේ මලල ක‍්‍රීඩා අංශයයි. අවසන් වරට ශ‍්‍රී ලංකාව ආසියානු ක‍්‍රීඩා උළෙලකදී මලල ක‍්‍රීඩාව ඔස්සේ පදක්කම් දිනා ඇත්තේ 2006 වසරේදීය. දෝහා කටාර්හි පැවැති එම ක‍්‍රීඩා උළෙලෙදී ශ‍්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ඇති අතර ඒ සියල්ල මලල ක‍්‍රීඩාවෙන් දිනා ගත් ඒවා විය. ඒ අතර මීටර් 400ං4 පිරිමි කණ්ඩායම දිනාගත් ලෝකඩ පදක්කමත්, සුසන්තිකා ජයසිංහ මීටර් 100 ඉසව්වේදී දිනා ගත් රිදී පදක්කම මෙන්ම මීටර් 200 ඉසව්වෙන් දිනා ගත් ලෝකඩ පදක්කමත් විය.
 

More News..