brand logo

ආසියානු කුසලානට ගිය ශ්‍රී ලංකා පිල ‘හැරෙන තැපෑලෙන්’ එයි

18 September 2018

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගයෙන් ලකුණු 91 ක ලැජ්ජා සහගත පරාජයකට මුහුණ පෑ ශ්‍රී ලංකාවට අදාළ තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවිය. මේ වනවිට ශ්‍රී ලංකාව සහභාගී වී තිබෙන අවසන් එක්දින තරග 41 න් තරග 30 ක් පරාජය වී තරග 10 ක් ජයගෙන එක් තරගයක් ජයපැරදුමෙන් තොරව අවසන් වී තිබේ. 1984 වසරේ සිට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2012 සහ 2016 යන අවස්ථා දෙක හැරුණු විට අන් හැම අවස්ථාවක ශ්‍රී ලංකාව අවසන් තරගය දක්වා පැමිණ තිබේ. ඇෆ්ගනිස්තානය ඉදිරියේ ලද මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාවට මෙම ආසියානු කුසලානේ සුපිරි කණ්ඩායම් 4 හෙවත් දෙවැනි වටයට හෝ ඒමට නොහැකිවීම කැපී පෙනෙයි. ශ්‍රී ලංකාව මූලික වටයේ තරග දෙකම පරාජයට පත්වීම මත ‘බී’ කාණ්ඩයෙන් තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම සුපිරි කණ්ඩායම් හතර අතරට පිවිසීමට බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය සමත් විය. ඇෆ්ගනිස්තානය රැස්කළ ලකුණු 249 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාව ලකුණු 158 කට සීමා විය. මීට පෙර බංග්ලාදේශය සමග ආසියානු කුසලාන සමාරම්භක තරගයේදීද සියලුදෙනා දැවී ශ්‍රී ලංකාවට රැස්කරගත හැකි වූයේ ලකුණු 124 ක් පමණි. ලකුණු සටහන ඇෆ්ගනිස්තානය පන්දුවාර 50 ක් අවසානයේ සියල්ල දැවී ලකුණු 249 යි. (මොහොමඞ් ශාසාඞ් 34, ඉසමුල්ලා 45, රහමත් ශා 72, තිසර පෙරේරා 5/55, අකිල ධනංජය 2/39) ශ්‍රී ලංකාව පන්දුවාර 41.2 කදී සියල්ල දැවී ලකුණු 158 යි. (උපුල් තරංග 36, තිසර පෙරේරා 28, ධනංජය ද සිල්වා 23, රශීඞ් ඛාන් 2/26, මොහොමඞ් නබි 2/36)
 

More News..