brand logo

'ආශාවරී' නතර කරන්නේ නෑ (වීඩියෝ)

22 November 2022

මේ දිනවල ලාංකීය ප්‍රසංග වේදිකාව වෙතට හැරුණොත් කවුරුත් කතා කරන්නේ ‘මැදිරිගිරිය ආශාවරී’ සංගීත කණ්ඩායම ගැනයි. පාසල් යන වයසේ පසුවෙන දක්ෂ ගැහැනු ළමයින්ගෙන් සැදුම්ලත් ආශාවරී ගැන මෙදා රටම කතා කරන්නේ එය නවතා දමන ලෙස ඉහළින් ආ නියෝගයක් නිසාවෙනි. ඒ අනුව පසුගිය දිනෙක වයස අවුරුදු 16 ට අඩු දැරියන් යොදාගෙන මුදල් සෙවීමේ පරමාර්ථයෙන් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව ජාතික ළමාරක්ෂණ අධිකාරිය, කම්කරු දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව දැනුවත් කර තිබිණි. ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පොලිසියද දැනුවත් කර ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා මැදිරිගියට ගොස් එම සංගීත කණ්ඩායමේ හිමිකරු වන නාලක ජයලත් මහතා හමුවී වහාම ‘මැදිරිගිරිය ආශාවරී’ සංගීත කණ්ඩායමේ කටයුතු නවතා දමන ලෙස දැනුම් දී තිබිණි. ප්‍රශ්නකාරී වටපිටාවක් මැද වුවද අප පසුගියදා නාලක ජයලත්ට කතා කළේ රටම කතා කරන ‘මැදිරිගිරිය ආශාවරී’ සංගීත කණ්ඩායම ගැන දැනගන්නටයි...

‘මැදිරිගිරිය ආශාවරී’ සංගීත කණ්ඩායමේ ආරම්භය සිදුවුණේ කොහොමද?

ලංකාවට කොරෝනා ආපු මුල් කාලේ අපි හැමෝටම දීර්ඝ නිවාඩුවක් ලැබුණනේ. ඒ කියන්නේ 2020 අවුරුද්දේ මාර්තු වගේ ඉඳන්. ඉතින් මිනිස්සු එක එක අලුත් වැඩ කරන්න පටන්ගත්තා. මටත් ඔය කාලේ ටිකක් වෙනස් වැඩක් කරන්න ඔළුවේ අදහසක් තිබුණා. මං රජයේ පාසලක සිංහල ගුරුවරයෙක්. ගායනය වගේම වාදනයත් මට පුළුවන්. ඉතින් අන්‍තිමට මං හිතුවා සංගීත කණ්ඩායමක් පටන්ගන්න. May be an image of 8 people, people standing and indoor

එහෙම හිතලා ආරම්භ කරපු සංගීත කණ්ඩායමට පාසල් යන වයසේ ගෑනු ළමයි ටිකක් ගන්න හිතුවේ ඇයි?

පඳුරකට පයින් ගැහුවත් සංගීත කණ්ඩායම් තුන හතරක් විසිවෙන කාලයක් ඒ. ඒක නිසා ඒ කාලේ සංගීත කණ්ඩායමක් කියන එක වෙනස්ම දෙයක් වුණේ නෑ. මං හිතුවා පොඩි දරුවෝ ටිකක් හොයාගෙන ලංකාවේ ළාබාලතම සංගීත කණ්ඩායම හදන්න. තවත් වෙනසක් කරන්න ඕන නිසා ඒ වැඩේට ගෑනු ළමයි විතරක්ම ගන්න ඕනේ කියලා හිතුවා.

සංගීතය ගැන කිසිම දැනුමක් නැති පුංචි ගෑනු ළමයි ටිකක් එක්ක සංගීත කණ්ඩායමක් ආරම්භ කරපු එක අභියෝගයක් නේද?

මං මුලින්ම කළේ අපේ ගමේ පොඩි දරුවෝ ඉන්න මගේ යාළුවෝ එක්ක මේ ගැන කතා කරපු එක. එයාලා කැමැති වුණා එයාලගේ දරුවෝ සංගීත කණ්ඩායමක් හදන්න දෙන්න. ඒ දවස්වල පාසල්වල නිවාඩු දීලා තිබුණු හින්දා වැඩේ තවත් පහසු වුණා. පස්සේ මගේ ගෙදරම වැඩේ පටන්ගත්තා. අපිට සංගීත භාණ්ඩ කියලා කිසිම දෙයක් තිබුණේ නෑ. ඒත් මං හදාගත්ත සංගීත භාණ්ඩ කීපයක් ඒ වෙනකොට තිබුණා. කිව්වත් වගේ එතැන හිටපු කිසිම දරුවෙක් ඒ වෙනකොට සංගීතය හදාරලා තිබුණේ නෑ. ඔවුන් ඒකට හුරුකරන එක තමයි ලොකුම අභියෝගය වුණේ. අනික එයාලා හරි පොඩියි සහ දැනුම් තේරුම් නෑ. කොහොම හරි දරුවන්ගේ හැසිරීම් එක්ක මං එයාලා ඒ ඒ ගැළපෙන සංගීත භාණ්ඩවලට හුරු කළා. May be an image of one or more people, people standing, people playing musical instruments and guitar

ගැහැනු ළමයි ටික කෙටි කාලෙකින්ම වැඩේ අල්ලගත්තා කියලා ආරංචියි...

මාසෙකින් දෙකකින් කට්ටිය වැඩේ අල්ලගත්තා. ඊට පස්සේ මං කෙළින්ම එයාලට සිංදු දුන්නා. ගීත පුහුණු කරන්න සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඒ.එම්. නිමේෂා මධුෂානි ගොඩාක් උදව් කළා. කියන්න සතුටුයි මාස හතක් වගේ කෙටි කාලෙකින් එයාලා සංගීත කණ්ඩායමක් විදිහට ගොඩනැගුණා. අපි ඒකට ‘මැදිරිගිරිය ආශාවරී’ කියලා නම දැම්මා. ඊට පස්සේ බෑන්ඩ් එකේ නිර්මාණ තුන හතරකුත් සමාජ මාධ්‍ය‍යට යොමුකළා. ඒවටත් ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඊට පස්සේ තවත් සති කීපයක් ඉඳලා අපේ පළමුවැනි සංගීත ප්‍රසංගය මැදිරිගිරියෙදි කළා.

‘මැදිරිගිරිය ආශාවරී’ පොඩ්ඩියන්ට පසුගියදා ලොකු ප්‍රශ්නයකට මැදිවෙන්න වුණා නේද?

අනේ ඔව්. අපි මේ අහිංසක දරුවෝ ටික මේ තත්ත්වයට ගෙනාවේ ගොඩාක් මහන්සිවෙලා. අපිට උදව් කළේ පොඩි පිරිසක් විතරයි. මේ ළමයි ටික හරි උනන්දුවෙන් සංගීත කටයුතු කරන්නේ. එයාලගේ දෙමව්පියොත් උනන්දුයි. සංගීතය කරන එකම ළමයි මේ අය වුණා නම් අපිට මේ සම්බන්ධව දෙපාරක් හිතන්න තිබුණා. ඒත් ලංකාවේ මීටත් වඩා පොඩි දරුවෝ වෙනුවෙන් රියැලිටි තරග පවා තියෙනවනේ. එහෙම බැලුවම අපට වෙන්න ගියේ ලොකු අසාධාරණයක්. හැබැයි අපි මොන බාධක ආවත් ‘මැදිරිගිරිය ආශාවරී’ නම් නවත්තන්නේ නෑ. අපි ඉදිරියටම යනවා. May be an image of 7 people, people standing and outdoors

සංගීත කටයුතු නිසා ළමයින්ගේ අධ්‍යාපන කටයුතුවලට එහෙම බාධාවක් වෙන්නේ නැද්ද?

මේ දරුවෝ සංගීතය කළා කියලා එයාලගේ අධ්‍යාපනයට කිසිම බාධාවක් වෙන්නේ නෑ. එහෙම වෙන්න දෙන්නෙත් නෑ. මොකද මමත් ගුරුවරයෙක්. මේ දරුවෝ අධ්‍යාපනයයි, සංගීතයයි හරි පිළිවෙළට ලස්සනට සමබරව කරගෙන යනවා. රෑ ප්‍රසංගයක් තිබුණත් එයාලා පහුවදාට අනිවාර්යයෙන්ම ඉස්කෝලේ යනවා.

ලොකු කැපකිරීමක් කරලා ගොඩනගපු සංගීත කණ්ඩායම එකපාරම නවත්තන්න කියද්දි මොකද හිතුණේ?

ආශාවරී නවත්තන්න කියද්දි මටත් වඩා මනසින් වැටුණේ බෑන්ඩ් එකේ දරුවෝ ටික. එයාලා හැමෝම නවත්තන්න දෙන්න එපා කියලා ඇඬුවා. එයාලට ඒක දරාගන්න බැරිවුණා. මෙච්චර හොර මැරකම්, වංචා, දූෂණ වෙන රටේ මේ අහිංසක දරුවෝ ටිකද හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කියලා මට හිතුණා. ඒත් ගීතා කුමාරසිංහ ඇමැතිතුමිය වගේම දයාසිරි ජයසේකර මන්ත්‍රිතුමා පාර්ලිමේන්තුවේ ඒ ගැන කතා කරලා අපිට ආයෙත් ප්‍රසංග පවත්වන තැනට වැඩ කටයුතු හදලා දුන්නා. ඒ වගේම ලංකාවේ හැමෝම වගේ ආශාවරී වෙනුවෙන් ලොකු හඬක් නැගුවා. රුවන් එස්.සෙනෙවිරත්න https://youtu.be/-jGDmkAI-lo
 

More News..