brand logo

ආර්ථික විද්‍යා ගුරුවයා වචන වරද්ද ගනියි

10 April 2021

  වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන කලින් කලට අමුතු කතා කියන්නෙකි. මාසයක් කන්නට එක් අයකුට රුපියල් 2500ක් ප්‍රමාණවත් බව ඔහු වරක් කීවේය. සක්‍රයාගේ පුතා වයිමා ගැනත් තවත් කතාවක් කීවේය. මෙවර ඔහු කීවේ පවුලට හාල් කිලෝ තුනක් සති දෙකකට ප්‍රමාණවත් බවය. මේ ගැන සති අග අරුණ ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළ විට ඔහු උත්තර දුන්නේ මෙසේය. ඇමැතිතුමා එක් පවුලකට හාල් කිලෝ තුනක් සති දෙකකට ප්‍රමාණවත්ද? මම කියපු එක වචනයක් අල්ලාගෙන විපක්ෂය දේශපාලනය කරනවා. මට වචන වැරදීමක් වුණා. මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට අනුව මම කිව්වේ සහන මල්ල දෙන්නෙ පවුලකට එකක් කියලයි. නමුත් ඒ අවස්ථාවේදීම එය නැවත නිවැරදි කරමින් සතොස සභාපතිතුමා කිව්වා පුද්ගලයකුට එකක් බැගින් සහන මල්ල දෙන බව. ඔබ ගෝලයන් දහස් ගණනක් ඉන්නා ආර්ථික විද්‍යා ගුරුවයෙක්. එහෙම බලන විට ගුරුන්ටත් වචන වැරදිලා නේද? මම මේවා උපේක්ෂා සහගතව ඉවසා දරාගන්න මිනිහෙක්. අපි හොරකම් කරන්නේ නැත්නම්, කොමිස් ගහන්නේ නැත්නම් වංචා දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධ වන්නේ නැත්නම්, බලය අයුතු ලෙස පාවිච්චි කරන්නේ නැත්නම්, වෙන මිනිස්සුන්ට මඩ ගහන්නේ නැත්නම් අනිත් අය කරන දේ පිළිබඳව මට තිබෙන්නේ අනුකම්පාවක් විතරයි. වයිරයක් නෑ ඒ අය ගැන. ඇයි අපහාස කරනවා කියලා කියන්නේ? මම හිතන්නේ මට කලින් හිටපු රිෂාඩ් බදුර්දීන් වෙළෙඳ අමාත්‍යවරයා විශාල ආයතන සංඛ්‍යාවක් සහිතව දීර්ඝ කාලයක් ලංකාවේ වැඩිම කාලයක් වෙළෙඳ අමාත්‍ය ධුරය දැරුව කෙනෙක්. හැබැයි එතුමාගෙන් ජාතියට වුණ උදාර සේවය නිසාද කොහෙද මගේ මතකයේ හැටියට එතුමාට කවුරුත් කාටුන් ඇඳලා නෑ. විවේචන කරලා නෑ. විචාර කන්නේ නෑ. බණින්නේ නෑ. මට වෙලාවකට හිතෙනවා මේවා දිහා උපේක්ෂාවෙන් බලනකොට මම සිංහල බෞද්ධයෙක් වීම නිසා මේ වැනි ඉරණමකට ගොදුරු වෙනවද කියලා. මොකද මීට පෙර ඉතිහාසයේ රටේ වැදගත් වෙනස්කම් කරපු සෑම සිංහල බෞද්ධ වෙළෙඳ අමාත්‍යවරයකුටම එළව එළවා පහරදීලා තිබෙනවා. එහෙම අපහාස උපහාස කරන්නේ ඔබතුමා කියන කාරණා නිසානේ. මම කරන අනෙක් දේවල් ගැන ඔයාලා කතා කරන්නේ නෑනේ. මම පාර්ලිමේන්තු පඩිය ගන්නේ නෑ. මම ඇමැති නිල නිවාස කුලී කවදාකවත් අරන් නෑ. ඊළඟට මම විදේශ සංචාරයකට ගියොත් ඒ ඉතිරි විදේශ විනිමය ප්‍රමාණය ආපහු ගෙනත් ලක්ෂ සංඛ්‍යාත මුදලක් ගෙවා තිබෙනවා. මගේ පෞද්ගලික ධනය හා දරුවන්ගේ, ඥාති මිත්‍රාදීන්ගේ සල්ලිවලින් ලක්ෂ සියයක් යොදලා ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව අරමුදල මාගේ උපන්දිනය නිමිති කරගෙන පසුගියදා ආරම්භ කරලා තිබෙනවා. ඔබ ඔහොම ප්‍රකාශ කළාට සහන මල්ලත් විවේචනය කරනවානේ? සතොස සහන මල්ල කවුරු විවේචනය කළත් මේ රටේ ජනතාව අසාමාන්‍ය ලෙස වැලඳගැනීම නිසා අපේ සතොස ඉතිහාසයේ පෙර නොතිබූ පරිදි දවසක වෙ‍ළෙඳාම රුපියල් කෝටි 15 ඉක්මවා තිබෙනවා. අපිට බණිමින් වුණත් පෞද්ගලික අංශයද රුපියල් 1000ට අඩුවෙන් දැන් භාණ්ඩ දෙනවානේ. මම කියපු වචනයක් අල්ලාගෙන විවේචනය කරනවා. අරමුණ හොඳ නම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රබුද්ධ ජනතාව මෙම වැඩපිළිවෙළ වැලඳගෙන තිබෙනවා. දැන් සහන මල්ල ගැන රටම කතා කරනවා. ඔබ එක් අයකුට රුපියල් 2500කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කීවනේ? මම අධ්‍යාපන ඇමැති ලෙස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා විද්‍යාපීඨවල සිසු දරු දැරියන්ට දැනට ලබාදෙන රුපියල් 2500 දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කිරීමට. මම එහිදී ප්‍රකාශ කළේ රුපියල් 2500 නොමැරී ජීවත් වෙන්න පුළුවන් කියලා විතරයි. ඒ වගේම මම රුපියල් 2500 රුපියල් 3000ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරලා තිබෙනවා. මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ගෙදර අයගෙන් විරෝධතා එල්ල වෙන්නේ නැද්ද? අපෝ නැහැ. අපේ ගෙදර අපේ දරුවොවත් මේ ජරාජීර්ණ දේශපාලනය පිළිබඳ වචනයක්වත් කතා කරන්නේ නැහැ. මගේ ගෙදරින් කිසිදු කෙනෙක් දේශපාලනයට එන්නෙත් නෑ. මගේ ගෙදරින් මම විතරයි දේශපාලනය කරන පළමුවැනි සහ අවසාන කෙනා.   උදයජීව ඒකනායක
 

More News..