brand logo

ආරක්ෂක අමාත්‍යාංශයේ කඹ ඇදිල්ලක්

02 February 2019

මාලි සාම සාධක මෙහෙයුමට ගිය ශ්‍රී ලාංකික භට කණ්ඩායමේ ජීවිත අනතුරේ

මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වලට ගිය ශ්‍රී ලංකා භට කණ්ඩායමේ දෙසීයක පමණ පිරිසකගේ ජීවිත තවමත් අවදානම් මට්ටමේ පවතින බව අනාවරණය වෙයි. මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා ගිය ශ්‍රී ලාංකික භටයන් දෙදෙනකු පසුගියදා ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබුණි. ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ පවතින කඹ ඇදිල්ලක් මෙම ජීවිත දෙක අහිමි වීම කෙරෙහි බලපාන්නට ඇති බව ද පැවසේ. අප්‍රිකාවේ සහරා කාන්තාරය මැදින් කිලෝ මීටර් 1300 ක් පසු කරමින් සිදුකරන අතිදුෂ්කරම සාම සාධක මෙහෙයුම මෙය වෙයි. සංග්‍රාමික ප්‍රවාහන රැලියට අයත් හමුදා වාහනවලට ජෑමර් යන්ත්‍ර සවිකරන ලෙස යුද නිලධාරින් වසර එකහමාරක් තිස්සේ රජයෙන් ඉල්ලීම් කර ඇතත් එය ඉටු නොකිරීම මෙම අවදානම් තත්ත්වයට හේතුව වී ඇත. සාමය බලගැන්වීමේ මෙහෙයුම් සඳහා (Peace Enforcement) යන හමුදා භට කණ්ඩායම්වලට එරට ත්‍රස්තයන්ගෙන් දිගින් දිගටම බෝම්බ ප්‍රහාර එල්ල වෙයි. දුරස්ථ පාලක උපයෝගි කරගෙන සිදුකරන මෙම බෝම්බ ප්‍රහාරයන් මැඬපැවැත්වීම සඳහා පාකිස්තානයෙන් ජෑමර් යන්ත්‍ර මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා සියලු කටයුතු අවසන්කර මේ වන විට වසර එකහමාරකට වැඩි කාලයක් ගතව ඇත. මාලි රාජ්‍යයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට බිලි වූ සාමසාධක භටයන්ගේ ගණන 179 දක්වා වැඩිවූයේ මෙම සතියේ 25 වැනිදා ඩුවෙන්සා කාන්තාරය ආසන්නයේ දී දුරස්ථ පාලක බෝම්බයකින් කපිතාන් දිනේෂ් ජයවික්‍රම, කෝප්‍රල් සමන්ත විජේකුමාර දිවි පිදීමත් සමගය. එම ප්‍රහාරයට ලක් වූ චීනයේ නිෂ්පාදිත ඩබ්ලිව්. එම්. ඉසෙඩ් වර්ගයේ රථය බෝම්බ ප්‍රහාරවලට ඔරොත්තු නොදීමෙන් මෙම දෙදෙනා මෙලෙස දිවිපිදූ අතර තවත් සෙබළකු බරපතළ තුවාල ලැබීය. මෙම ජෑමර් යන්ත්‍ර හැකි ඉක්මනින් ලබා ගැනීමට මාලි රාජ්‍යයට යන මොහොතේ පටන් ඉල්ලීම් කර ඇති අතර ජනාධිපතිවරයා ඒ සඳහා නියෝග ලබා දී තිබුණද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ කඹ ඇදිල්ල නිසා ජෑමර් යන්ත්‍ර මිලදී ගෙන නොතිබිණි. මෙම එක් යන්ත්‍රයක් රුපියල් කෝටියක් පමණ වන බවද ගණන් බලා ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..