brand logo

ආයේ කවදාවත් හඬ දායකත්වය දෙන්නෑ

02 September 2020

ප්‍රථම හොලිවුඩ් වීනස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගන්නට වාසනාව හිමි වුණේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පීයෙකු වන ශ්‍යාම් ප්‍රනාන්දු. ඒ චතුර විමර්ශ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘One Blood’ කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන භූමිකාවේ රංගනය වෙනුවෙන්. මේ දවස්වල මොකද වෙන්නේ ? කලා කටයුතු මුකුත්ම නැහැ. මොකද මේ කොරෝනා උවදුර නිසා බොහෝ නිර්මාණ නැවතිලා කියලා හැමෝම දන්නවනේ. ටවර් හෝල් පදනමෙන් හෝල් එක නොමිලේ දෙන නිසා නාට්‍ය කිහිපයක් පෙන්වනවා. ධර්මප්‍රිය ඩයස්ගේ සහ රාජිත දිසානායකගේ නාට්‍යයක් තියෙනවා. වීනස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය ලැබෙනවා. ඒ ගැනත් අපි මතක් කළොත් ? ඔව් මේ අවුරුද්දේ මුල තමා ඒ සම්මාන උළෙලට නිර්මාණ භාර ගෙන තිබුණේ. පළවැනි වතාවට තමා මේ උළෙල පැවැත්වුණේ. ආරංචි විදියට රටවල් සියයකින් විතර කෙටි චිත්‍රපට 1000ක් විතර ඇවිත් තියෙනවා. ඒ එකෙන් ඒ අය චිත්‍රපට 50ක් තෝරාගෙන එකෙනුත් චිත්‍රපටි 15ක් තෝරාගෙන තමා සම්මාන සඳහා සලකා බලලා තියෙන්නේ. ඒ චිත්‍රපටි 15 අතරින් තමා ලංකාව නියෝජනය කළ චතුර විමර්ශ ප්‍රනාන්දු කියන තරුණ අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කළ ‘One Blood’ කෙටි චිත්‍රපටයේ මම කළ රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණේ. කොහොමද මේ චරිතය ලැබෙන්නේ, හිතුනද ? චතුර විමර්ශ ප්‍රනාන්දු කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයෙක්. ඔහු විශ්වවිද්‍යාලයේ හැදෑරුවේ චිත්‍රපටි අධ්‍යක්ෂණය. ඉතින් ඔහුගේ අවසන් වසරේ ඉන්න කාලයේ අධ්‍යයන කටයුත්තක් විදියට තමා මේ චිත්‍රපටිය නිර්මාණය කළේ. ඊට පස්සේ ඔහු මේ චිත්‍රපටිය කෙටි චිත්‍රපටි උළෙල සඳහා ඉදිරිපත් කළා. මෙහි කැමරාකරණය, තාක්ෂණ කටයුතු, වේශ නිරූපණය, සංගීත ආදී හැමදෙයකටම දායක වෙලා තිබුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින්. මම ඉතින් මේ වගේ නවක අයගේ කෙටි චිත්‍රපට කිහිපයකට දායක වෙලා තියෙනවා. මේ අලුත් අධ්‍යක්ෂවරයා කොහොමද ශ්‍යාම් දකින්නේ ? චතුර දැන් විශ්වවිද්‍යාලයෙන් පිටතට ආපු සිනමා නිර්මාණකරණය තුළ නියැළෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න දක්ෂ තරුණයෙක් විදියට තමා මම දකින්නේ. දකුණු ඉන්දීය සිනමාවට එකතු වෙන්නත් ඔබ භාග්‍යවන්ත වුණා? ඉන්දිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන මනි රත්නම් නිර්මාණය කරන “පොන්නියන් සෙල්වම්” චිත්‍රපටය. මනි රත්නම් කියන්නේ චිත්‍රපට විශාල සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. මේක ඔහුගේ තව දැවැන්ත නිර්මාණයක් විදියට තමා රූ ගත කිරීම් පටන් ගත්තේ. අවාසනාවකට කොරෝනා නිසා අවසන් දින කිහිපය රූ ගත කර ගන්න බැරිව ගියා. ඒ නිසා ඉතිරි රූ ගත කිරීම් ලංකාවට ඇවිල්ලා සිදු කරන්නත් ඔවුන්ගේ අදහසක් තියෙනවා. ඒ ගැන ඉදිරි මාසයේ දී හරියටම තීරණය කරාවි. එහි ඔබේ රූ ගත කිරීම් ඉවරද? මගේ රූ ගත කිරීම් ඉවරයි. මම එහි කරන්නේ සහාය චරිතයක්. සති දෙකක් වගේ තමා මගේ කොටස් තිබුණේ. මුළු චිත්‍රපටයටම ඔවුන් මාස තුනක් වගේ කාලයක් වෙන් කරලා තිබ්බා. සාමාන්‍යයෙන් ලංකාවේ නම් වැඩිම අපි ලබා ගන්නේ මාසයක් වගේ කාලයක්නේ. නමුත් ඉන්දියාවේ පොඩි කොටසකට පවා දිගු කාලයක් අරගෙන තමා නිර්මාණය කරන්නේ. කොහොමද ඒ අත්දැකීම ? ලෝකයේ දෙවැනියට විශාලම චිත්‍රපටි හැදෙන රටයි ලංකාවයි සංසන්දනය කරන්න හොඳ නැහැ කියලා මම හිතන්නේ. අපිට හිතාගන්න බැරි තරම් ඒ කර්මාන්තය විශාලයි. ඔවුන්ට තියෙන පහසුකම් විශාලයි. ඒ කලාකරුවන්ට සමාජය තුළින් ලැබෙන පිළිගැනීම ආදරය අපිට හිතා ගන්නවත් බෑ. අපි කියන්න ගියත් බොරුවක් කියලා හිතෙන ගාණට ඒ පිළිගැනීම ගෞරවය සහ ආදරය ආර්ථික තත්ත්වය සියලුම දේ. අපිට ඔවුන් එක්ක සමානව හිට ගන්න පුළුවන් දක්ෂතාවය තුළින් පමණයි. අනිත් කිසිම දෙයකින් ඔවුන්ට කිට්ටු වෙන්නවත් බෑ. නිෂ්පාදන පරිමාව, වෘත්තියමභාවය ආර්ථිකය සියල්ල අතින් අපිට කිට්ටු වෙන්න බෑ. කිට්ටු වෙන්න පුළුවන් එකම දේ දක්ෂතාවය. දැන් හඬ කැවීම් කරන්නෙම නැද්ද? ජීවිතේ එකම එක චරිතයයි හඬ දායකත්වය කළේ. ඒකත් දැන් නවත්තලාත් අවුරුදු දෙකකට වැඩියි. ඒ නිසා ආයේ එහෙම හඬ දායකත්වය ලබා දෙන්න අදහසක් නැහැ. ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද? තරුණ අධ්‍යක්ෂවරුන් හතර දෙනෙක් එකතු වෙලා කරපු "මැරීන් ඩ්‍රයිව්" කියන චිත්‍රපටය එන්න තියෙනවා. චන්න දේශප්‍රිය කරපු චිත්‍රපටයක් තියෙනවා "ඇගේ නම රතී". ඒ වගේම ප්‍රසන්න විතානගේ කරපු "ගාඩි" චිත්‍රපටයත් ඉදිරියට එන්න තියෙනවා. අනුෂා රණසිංහ
 

More News..