brand logo

ආයුධ සොයා වැලිකඩ බන්ධනාගාරයේ මෙහෙයුමක්

13 April 2019

ජාත්‍යන්තර මත් ජාවාරම්වල නිරත කුඩු ජාවාරමුන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර එල්ලන්නට පෙර සිරකරුවන් හිරෙන් පන්නන සැලසුමකට අනුව ගෙන ආ බව කියන ආයුධ සොයා වැලිකඩ බන්ධනාගාරය පුරා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. බේබි බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් හා පිටතට වෙඩි ශබ්ද නොඇසෙන සයිලන්සර් යෙදූ නවීන අවි දෙකක් මෙසේ රැගෙන ආ ආයුධ අතර තිබෙන බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරියකු සති අග අරුණට අනාවරණය කළේය. මරණීය දණ්ඩනය නියම වූ මත්කුඩු ජාවාරමුන් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරය තුළට බේබි බ්‍රවුනින් පිස්තෝලය රහසිගතව ගෙනවිත් ඇතැයි ලද තොරතුරු මත බන්ධනාගාර බුද්ධි අංශ දින ගණනක පටන් වැලිකඩ බන්ධනාගාරය පීරමින් මෙහෙයුමක් අරඹා ඇතැයි ද එම නිලධාරියා අනාවරණය කළේය. සයිලන්සර් යෙදූ නවීන අවි දෙකක් වනාතමුල්ලෙන් බන්ධනාගාරයේ පසුපස දොරටුව පිහිටි බන්ධනාගාර ක්‍රීඩාංගණයේ රහසිගතව සඟවා ඇතැයිද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබිණ. ඒ අනුව මෙම සෝදිසි මෙහෙයුම් ඇරඹී ඇත. මත්කුඩු ජාවාරම් අතරේ ඉරාන ට්‍රෝලර්වලින් මෙරටට නවීන අවි ආයුධ ගෙන එන ජාවාරමක් ක්‍රියාත්මක වූ බව කොළඹ වරායේ සිර මැදිරියක දැඩි රැකවල් මැද රඳවා සිටින පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත. මීට පෙර ඉරාන කුඩු යාත්‍රාවක් අසුවූ මොහොතේදීත් මෙවර ඉරාන යාත්‍රාව අසුවූ මොහොතේදීත් ඒවායේ රැගෙන ආ අවි ආයුධ මුහුදට දමා ඇතැයි කංජිපානි ඉම්රාන්ගෙන් හෙළිවී ඇත. වෙලේ සුදා, කුඩු සියාම් ඇතුළු මත්ද්‍රව්‍ය මාෆියාවේ ඉහළින්ම සිටිනවුන් මුදාගැනීමේ රහසිගත මෙහෙයුමකට රැගෙන ආ බව කියන සයනයිඩ් කුප්පි දෙකක් බන්ධනාගාර බුද්ධි අංශය හා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය එක්ව කළ රහසිගත මෙහෙයුමකින් හෙළිවන්නේ ඉකුත් සඳුදා (8 වැනිදා) රාත්‍රියේදීය. ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්නට පෙර බන්ධනාගාර නිලධාරීන්ට සයනයිඩ් එන්නත් කර පැනගැනීමේ සූදානමක් මෙහිදීද හෙළිවිය. හිරගෙදරට හොර රහසේ රැගෙන ආ ආයුධ මෙම මෙහෙයුමට යොදා ගන්නට ගෙන ආ ඒවා බවත්, එම ආයුධ පරිහරණයට හිරේ සිටින කමාන්ඩෝ, එස්.එෆ්. පුහුණුව ලත් කණ්ඩායම් යොදවන්නට සිටි බවටත් සැක පහල වී ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..