brand logo

ආයතන 40කට සභාපතිවරු අධ්‍යක්ෂවරු පත්කිරීමට නිර්දේශ සූදානම්

13 December 2019

රාජ්‍ය ආයතන 40ක් සඳහා සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමට අදාළ නිර්දේශ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙත යොමු කර ඇත. රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ සය පුද්ගල කමිටුව විසින් නිර්දේශ යොමු කර ඇත. සෑම රාජ්‍ය ආයතනයකම එක් තනතුරක් සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් තිදෙනකුගේ නම් මෙහිදී යෝජනා කර ඇත. ඉදිරි සතිය වන විට ආයතන රැසකට සභාපතිවරුන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමට හැකියාව ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. එකම විෂය පථයන් සඳහා පිහිටුවා ඇති ආයතන ඒකාබද්ධ කිරීමේ යෝජනාවක්ද කමිටුව විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කර ඇත. දැනට තිබෙන රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර අමාත්‍යාංශ ලේකම්වරුන් මගින් දැනුම් දී තිබේ. ආයතනවල ප්‍රවීණයන් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත. මේ වන විට වරාය අධිකාරියේ සභාපති ලෙස විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායකද, ජාතික රූපවාහිනි සංස්ථාවේ වැඩබලන සභාපති ලෙස නාලක කලුවැවද පත්කර තිබේ. මහ මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන පුද්ගලයන් සභාපති ධුර සඳහා අධ්‍යක්ෂ මණ්ඩලවලට පත් නොකිරීමටද ජනාධිපතිවරයා තීරණය කර ඇත. උදයජීව ඒකනායක
 

More News..