brand logo

රාජ්‍ය හා පෞද්ගලික ආයතන 252ක් බදු පැහැර හැරලා

17 April 2021

මෙරට ප්‍රධානතම රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක්ද ඇතුළුව ආයතන රැසක් පසුගිය වසර (2020) අවසන් වන විට රජයට නොගෙවා පැහැර හැර ඇති සමස්ත බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 697කට (රුපියල් කෝටි 69,700කට) වැඩි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය කරයි. දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන්ගේ අයවිය යුතු හිඟ බදු සහ දඩ මුදල් පිළිබඳව 2021 මාර්තු 10 වැනිදා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාවට ඉදිරිපත් කළ ප්‍රගති සමාලෝචන වාර්තාව ඔස්සේ මෙම සංඛ්‍යාලේඛන අනාවරණය කර ඇත. 2016 වර්ෂයේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට RAMIS නමින් පරිගණක ගත නව බදු රැස්කිරීමේ පද්ධතියක් හඳුන්වා දුන්නේය. ඊට පෙර (2015 දෙසැම්බර් 31 දක්වා) සේවක මැදිහත්වීම මත ලේඛනගත කර සිදු කෙරුණු බදු රැස් කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වූ අතර එය Legacy නම් විය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනාවරණය කරන ආකාරයට 2015 දෙසැම්බර් 31 වැනි දින දක්වා ක්‍රියාත්මක වූ Legacy පද්ධතියට අදාළව 2020 දෙසැම්බර් 31 දක්වා ඉදිරිපත් කර ඇති හිඟ බදු වාර්තාවට අනුව රජයට අයවිය යුතු මුළු හිඟ බදු මුදල රුපියල් 291,274,234,905ක් (රුපියල් බිලියන 291ක්) වේ. මීට අමතරව 2016 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන RAMIS පරිගණක ගත පද්ධතියට අනුව 2020 දෙසැම්බර් 31 දිනට රජයට අයවිය යුතු සමස්ත හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් 406,442,123,604කි. (බිලියන 406කි) එසේම Legacy පද්ධතියේ හිඟ බදු අතුරින් 65.5%ක්ම දෙපාර්තමේන්තුව විසින් තාවකාලිකව අත්හිටුවා ඇති අතර Ramis පද්ධතිය යටතේ අත්හිටුවා ඇති හිඟ බදු ප්‍රතිශතය 58.9%කි. ආදායම් බදු, වැට් බදු, ජාතිය ගොඩනැගීමේ බදු, උපයන විට ගෙවීම් බදු, ආර්ථික සේවා ගාස්තු වෙනත් බදු වර්ග රැසක් මෙලෙස නොගෙවා පැහැර හැර ඇත. මෙම වාර්තාවෙන් වැඩිදුරටත් හෙළි කර ඇති ආකාරයට 2020 පෙබරවාරි 09 වැනිදා වන විට රුපියල් බිලියන 2.07ක් දක්වා නිරවුල් කර ඇති දෙපාර්තමේන්තුවේ අවිනිශ්චිත ගිණුමේ ශේෂය 2021 පෙබරවාරි 09 වන විට වසරක් තුළ රුපියල් බිලියන 7.186ක් ලෙස ඉහළ ගොස් තිබේ. මෙලෙස බදු නොගෙවා පැහැර හරින ලද ආයතන අතර මෙරට ප්‍රකට රාජ්‍ය හා පෞද්ගලික රක්ෂණ සමාගම්, ප්‍රධාන රාජ්‍ය බැංකු, රාජ්‍ය සහ පෞද්ගලික මූල්‍ය සමාගම්, දුරකතන සමාගම්, භාණ්ඩ නැව්ගත කිරීමේ සමාගම්, මෝටර් රථ ආනයනකරුවන්, සංචාරක සමාගම්, වානේ නිෂ්පාදන සමාගම්, පැණි බීම සමාගම් හා රෙදිපිළි වෙළෙඳ ආයතන ඇතුළු ප්‍රකට වෙළෙඳ නාම ගණනාවක්ම වෙයි. නයන තරංග ගමගේ
 

More News..