brand logo

ආපු තැනක් යන තැනක් නොදන්නා කන්ටේනර් 1000ක් වරායේ

08 September 2019

අපේ රටේ ආර්ථික මර්මස්ථාන අතුරින් කොළඹ වරායට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. මුහුදු මාර්ගයෙන් කෙරෙන ආනයන සහ අපනයන කටයුතු සියල්ල සිදුවන්නේ කොළඹ වරාය ඔස්සේය. එහෙත් මෑතක පටන් කොළඹ වරායේ හොඳ නමට කුණු ගෑවෙමින් තිබෙනු පෙනෙයි. පසුගිය කාලයේ දී අපේ රටට ගෙනා කුණු කන්ටේනර් ගැන මහත් ආන්දෝලනයක් ඇති විය. එහෙත් දැන් ඒ පිළිබඳ වගේ වගක් නැති ගානය. රටේ පාලකයන් එකල පැවසුවේ බ්‍රිතාන්‍යයෙන් ගෙන ආ කුණු කන්ටේනර් යළි එරටටම හරවා යවන බවය. එහෙත් තවම එවැන්නක් සිදු වී නැත. එසේ තිබිය දී ‘සති අග අරුණ’ මේ පිළිබඳව වැඩිදුර සොයා බැලුවේය. එහි දී තහවුරු වූයේ පරීක්ෂාවට ලක් නොකළ තවත් එවැනි කන්ටේනර් සීයක් පමණ ඇති බවය. ඒවායේ ද භාවිතයෙන් ඉවත් කළ මෙට්ට ආදී දේවල් ඇති බවය. භාවිතයෙන් ඉවත් කළ ස්ප්‍රිං මෙට්ට මෙහි ගෙනවිත් ඒවායේ කුෂන් කවර ඉවත් කර සැකිල්ල කොටස යළි භාවිතයට ගන්නා බව කියැවේ. මේ බව හෙළි වූයේ රේගුවේ මධ්‍යම අපහරණ අංශය මගින් කළ විමර්ශනයකදීය. ඔවුහු කන්ටේනර් වරායෙන් පිටතට ගෙන ගොස් පරීක්ෂා කරන විට ඒවායෙහි මෙට්ටවලින් ඉවත ලන කොටස් ඇති බව දැනගන්නට ලැබිණි. මෙට්ටවලින් ඉවත ලන කොටස් පුත්තලම ‘ඉන්සී’ සිමෙන්ති නිෂ්පාදන ආයතනයේ උදුන් තුළ දී ගිනි තබා විනාශ කිරීමට සැලසුම වී තිබිණි. මේ සඳහා පරිසර අධිකාරිය ද අනුමැතිය ලබා දී රේගුවේ සමාජ ආරක්ෂණ අංශයට ද දන්වා තිබිණි. එහෙත් රේගු මධ්‍යම අපහරණ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා එයට විරෝධය පළකර තිබුණේය. මෙයින් සිදුවන පරිසර හානිය නිසා මෙම කන්ටේනර් රේගු අධීක්ෂණය යටතේ විනාශ කිරීමට යෝජනා විය. ඒ සමගම මෙට්ට නිෂ්පාදන සමාගම එවැනි කන්ටේනර් අ​පේ රටට ගෙන්වීම තාවකාලිකව අත්හිටෙව්වේය. තවත් එවෙනිම මෙට්ට නිෂ්පාදන ආයතන විසින් යුරෝපා රටවලින් කසළ ලෙස ඉවත් කරන මෙට්ට මෙරටට ආනයනය කර තිබුණේ රට තවත් කුණු කන්දක් කරන්නටය. විදෙස් රටවලින් ‘කුණු’ ලෙස ඉවත් කළ කන්ටේනර් සියයක් පමණ තවමත් පරීක්ෂාවට ලක් නොකර කොළඹ වරාය තුළ රඳවා ඇති බව රේගු නිලධාරීන් සොයා ගත්තේ මේ ආකාරයටය. ඕස්ට්‍රේලියාවෙන් කසළ ලෙස ඉවත් කරන පරිගණක කොටස් කන්ටේනර් පිටින්ම තඹ ගැනීමට කියා ආයෝජන මණ්ඩලය හරහා මෙරටට ගෙන එන්නේත් මේ ආකාරයටය. කොළඹ වරාය තුළ මේ ආකාරයට එන තවමත් පරීක්ෂාවට ලක් නොකළ කන්ටේනර් දහසකට වැඩි සංඛ්‍යාවක් ඇති බව මෑතක දී කළ විමර්ශනයක දී තහවුරු වන්නේය. එම කන්ටේනර් වරායෙන් නිදහස් කරගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හමුවේ ඒවා කිසිදු පරීක්ෂාවකට ලක් නොකරන්නට හේතු වී ඇත. මාස තුනට වැඩි කන්ටේනර් මෙන්ම වසර ගණන් වරාය තුළම ගොඩගැසී තිබෙන කන්ටේනර් ද මෙහි තිබෙන්නේය. වරාය අධිකාරිය සතු පරිශ්‍රයේ හා සී. අයි. සී. ටී හා එස්. ඒ. ජේ. ටී පර්යන්තවල ඇති විසිදහසකට අධික කන්ටේනර් අතරේ මෙම කන්ටේනර් ඇති බව ඒ ගැන සොයා බැලීමේ දී අනාවරණය විය. සතොසට ගෙන් වූ හාල් කන්ටේනර් ද මේ අතරේ සඟවා තැබීමට වරායේ සිටින හාල් මාෆියාවට සම්බන්ධ පිරිස් කටයුතු කර ඇත. වරායේ දහස් ගණන් කන්ටේනර් අතරේ පිටතට නොපෙනෙන සේ සැඟව සහල් කන්ටේනර් තවමත් තිබෙන බව ද විමර්ශනවල දී හෙළි වී තිබේ. වරාය අධිකාරිය සතු කන්ටේනර් අංගණවල ඇති අයිතිකරුවන් ඉදිරිපත් නොවන කන්ටේනර් දින විසිඑකක් ගත වූ පසුව වරාය අධිකාරියට පවරාගෙන, රේගුවට අය විය යුතු තීරු බදු මුදල රේගුවට අයකර ගැනීමේ ක්‍රමවේදය මත ඒවා ටෙන්ඩර් කිරීම සිදුවන්නේය. ඒ ආකාරයටම 1978 රේගු ආඥා පනත අනුව දින තිහකට පසු අයිතිකරු නොමැතිව තිබෙන කන්ටේනර් ද රේගුව අත්පත් කරගෙන ටෙන්ඩර් කිරීමේ බලය පැවරී ඇත. එසේ වුවත් අද වන තුරුත් පරීක්ෂාවට ලක් නොවුණ කන්ටේනර් දහසක් පමණ වරායේ ඇති කන්ටේනර් අතරේ සැඟවී තිබෙන්නේය. මේවායෙහි හිමිකරුවන් ඉදිරිපත් නොවීම නිසා එම කන්ටේනර් වරාය තුළම ගොඩගැසී තිබෙන්නේය. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ සිටි මත්කුඩු මෝරුන් බ්‍රසීලයේ සිට එන සීනි කන්ටේනර්වලින් කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නට කොළඹ වරාය අතරමැදි ස්ථානයක් ලෙස තෝරාගෙන තිබුණේත් කොළඹ වරායෙන් ගැලවී යන්නට හැකි නිසාය. රුපියල් කෝටි ගණනක් වටිනා කොකේන් තොග පිටින් බ්‍රසීල සීනි කන්ටේනර්වලින් මෙරටට ඒවා අතරමගින් පන්නන මාෆියාවක් ක්‍රියාත්මක විය. එම කන්ටේනර් රැගත් නැව් පෘතුගාල් දෙසට ළඟා වෙද්දි ජාවාරම්කරුවන් බෝට්ටුවලින් පැමිණ නැව තුළට ඇතුළු වී තමන්ට බ්‍රසීලයෙන් දැනුම් දෙන කන්ටේනර් සොයා ඒවායේ අගුලු ගලවා කොකේන් බෝට්ටු මගින් රැගෙන යාම ජාවාරම්කරුවන්ගේ පුරුද්දක්ය. යම් හෙයකින් නැවේ කන්ටේනර් තුළ තිබෙන කොකේන් ගැනීමට නොහැකි වුණේ නම් ලංකාවට යන්නට අතහැර යළි ලංකාවෙන් ගෙන්වාගැනීම සිදුවන්නේය. පසුගිය වසරේ කොළඹ වරායේදී හා රට තුළ දී හමු වූ කොකේන් තොග පෘතුගාල් මුහුදු සීමාවේ දී පන්නා ගැනීමට නොහැකි වූ ඒවාය. බ්‍රසීලයෙන් එවන සීනි කන්ටේනර් සම්පූර්ණයෙන් පරීක්ෂාවට ලක්කරන්නැයි රේගු දෙපාර්තමේන්තුවෙන් දුන් නියෝග නොතකා පොලිස් විශේෂ කාර්ය බළකාය විවෘත කළ කන්ටේනරයක් තුළ තිබී කෝකේන් කිලෝ ගණනක් හමුවූයේය. රේගු දෙපාර්තමේන්තුවේ නියෝග පැහැර හරිමින් කටයුතු කර රුපියල් කෝටි ගණනක් වටිනා කොකේන් තොගයක් රට තුළට යාමට වගකිව යුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා ඉන්පසුව උසස්වීමක් ද ලබන්නේ කිසිදු විමර්ශනයකින් තොරවය. ජාති, ආගම්, කුල භේදවලට ඇති වැඩි සැලකිල්ල නිසා මෙම නිලධාරියා ඉහළ නිලධාරීන්ගේ උදහසට ලක් නොවුණේ මෙය ජාත්‍යන්තර මත්කුඩු මාෆියාවක් බවට හෙළිව තිබෙද්දීය. ජාතිකත්වය ඉදිරියට දමා කොකේන් කන්​​ටේනරය මුදාහල නිලධාරියාට අද උසස්වීමක් පවා දී තිබෙන්නේය. නමුදු රේගුවේ සිරවුණු සැක සහිත කන්ටේනර් සොයා ඒවා රාජසන්තක කර විකිණීමට හෝ විනාශ කිරීමට අවශ්‍ය කටයුතු යොදන නියෝජ්‍ය රේගු අධිකාරිවරයෙකු අදිසි බලවේගයක් මෙන් සැලසුම් සහගතව එම කාර්යයෙන් ඉවත් කරන්නේ අනිවාර්ය නිවාඩු යවන තත්ත්වයට පත් කරමිනි. රේගුවේ ජ්‍යෙෂ්ඨ තනතුරක් හොබවන තරුණ නිලධාරියා වන ඔහුට වසර විසි දෙකක සේවා කාලය තුළ කිසිදු දූෂණ චෝදනාවක් එල්ල නොවුණ ද මෙවර ෆාම් ඔයිල් කන්ටේනර් සිද්ධියක් පටලවා යවන්නේ රේගු‌වේ දූෂණවලට වැට බැඳුණු නිසාය. රේගුවට අරක්ගත් දූෂිත නිලධාරීන් කන්ටේනර් මුදාහරිමින් කළ මාෆියාව නවතින්නේ මෙයට මාස අටක පටන් රේගු මධ්‍යම අපහරණ අංශයට පත්වීම් ලැබ පැමිණි මෙම නිලධාරීන් නිසාය. සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්නට ඔහු පැමිණි පසුව නැවතුණු දූෂිත අක්‍රමිකතා අප සතුව ඇත. බට් වාහන, හමර් ජීප්, බීඩි කොළ, කොත්තමල්ලි කෝපි, වාහන කන්ටේනර් සම්බන්ධ සිද්ධීන් ඉන් කිහිපයකි. මෙම යටිකූට්ටු වැඩවලින් ආදායම් ඉපැයූවන්ට මෙම තරුණ නිලධාරියාගේ ආගමනය හෙණ පහරක් වී තිබුණේය. ඒවා තහවුරු කළ හැකි දුරකතන සංවාද මෙන්ම මොහුට වෙනත් තනතුරු දී මධ්‍යම අපහරණ අංශය තමන් අතට ගන්නට දූෂිත ඉහළ නිලධාරීන් කතා කරන හඬපට අප සතුය. එවැනි කූට සැලසුම් මැද වංචාවට එරෙහි වූ නිලධාරියාව රේගුවේ දූෂිත නිලධාරීන් එක්ව පටලවන්නේ අමුතුම වරදකටය. ෆාම් ඔයිල් කන්ටේනර් පහක් අයිතිකරුවන් නොමැතිව මාස ගණන් රඳවා තැබූ කන්ටේනර් අතරේ තිබී සොයා ගන්නේත් මෙකී නිලධාරියාමය. ඉන් පසුව තම ඒකකය තවත් රේගු අධ්‍යක්ෂවරයා දුන් නියෝග මත එම ෆාම් ඔයිල් ගැන ආහාර පරීක්ෂක වාර්තා කැඳවා විනාශ කිරීමට යෝජනා කරන්නේ මධ්‍යම අපහරණ අංශය භාර ‌රේගු අධිකාරිවරයාය. මේවා විනාශ නොකර සත්ව ආහාරවලට ටෙන්ඩර් කර විකුණුවේ නම් රේගු අධිකාරිගෙන් පහලට සිටින නිලධාරීන්ට විකුණා මුදලෙන් කොටසක් ත්‍යාග මුදල් සේ ලැබෙන්නේය. නමුත් එවැන්නක් කළොත් වෙළෙන්දන් මේවා මිනිස් පරිභෝජනයට එක්කරලීමට ඉඩ ඇති නිසා කන්ටේනර් පහම විනාශ කරන්නට නියෝග දෙන්නේ රේගු අධිකාරිමය. ඒ සඳහා සහකාර රේගු අධිකාරිවරුත් හතර දෙනකු පත්කර නිට්ටඹුව ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය මැද විනාශ කරන්නට නියෝග දෙන්නේය. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ හා රේගු අධිකාරිවරයා භෞතිකව මේවා විනාශ කරන තැනට නොයන අතර විනාශ කළ බවට ආහාර පරීක්ෂක හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහතික සමග වාර්තා දෙන්නේ සහකාර රේගු අධිකාරිවරුන්ය. කෘෂි ඔයිල් විනාශ කරනු වෙනුවට එක් කන්ටේනරයක් කමලකුමාර් නමැති වරායේම ටෙන්ඩර්කරුවකුටම විකුණා ඒවා විනාශ කළ බවට රේගු අධිකාරියට අසත්‍ය වාර්තා සපයන්නේ සහකාර රේගු අධිකරිවරුන්ය. මෙම සිද්ධිය හෙළිවිමත් සමග විමර්ශන අතට ගන්නේ මධ්‍යම අපහරණ අංශයේ රේගු අධිකාරියේ නීතිය අකුරට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයන්ට එරෙහිව සිටි දූෂිත කණ්ඩායමේ පිරිසකි. ඔවුන් කරන අමුතු විමර්ශනය කැකිල්ලේ නඩු තීන්දුව මෙන් විය. සෘජුවම මෙම වරදට වගකිව යුතු සහකාර රේගු අධිකාරිවරුන් හතරදෙනා වැඩ තහනම් කරනු වෙනුවට සුමට දඬුවමක් ලෙස අනිවාර්ය නිවාඩු යැව්වේය. වගකීම ඉහළටත් පැවරෙන බව පෙන්වා මධ්‍යම අපහරණ අංශයේ ප්‍රධානියා වූ රේගු අධිකාරිවත් ඒ ගොඩට දමා අනිවාර්ය නිවාඩු යවන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියටත් මේ අසාධාරණයට එරෙහිව කතා කරන්නට බැරි ලෙසට සිද්ධිය විකෘති කරමින්ය. රේගු අධිකාරියට වගකීම පැවරෙනවා නම් ඔහුට නියෝග දුන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයාටත් එම දඬුවම පැවරිය යුතුය. පරිපාලන සේවයේ නිලධාරීන් රේගු දෙපාර්තමේන්තුවේ බලය පතුරුවන නිසා පරිපාලන සේවා නිලධාරියෙකු වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා වගකීමෙන් මුදාහරින්නේ දූෂිත නිලධෘරීන් කණ්ඩායමකට තමන්ට අවශ්‍ය දේ පමණක් ඉටු වූ නිසාය. මෙම විමර්ශනයේ දී තවත් කැකිල්ලේ නඩු තීන්දුවක් ක්‍රියාත්මක විය. විමර්ශන කළ නිලධාරීන් කීවේ ෆාම් ඔයිල්වල වටිනාකම කෝටි තුනක් බවය. රේගු නීතිය අනුව රුපියල් ලක්ෂ දහයකට වඩා වැඩි නම් මහෙස්ත්‍රාත්වරයකුට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කිරීමට හෝ අධිකරණ නියෝග මත රඳවා ගත යුතුය. නමුත් සිදුවූයේ සැකකරු බියවද්දවා ඔහුගෙන් රේගු අධිකාරි හිර කරන්නට ප්‍රකාශයක්. ගැනීම පමණකි. මෙම කැකිල්ලේ නඩු තීන්දු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට මෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවටත් නම් ගම් සහිතව දැන් ලැබී තිබෙන්නේය. තමාව රේගු මධ්‍යම අපහරණ අංශයන් පලවා හැර දූෂිතයන්ගේ ජාවාරම් කරළියට ගෙන එන කුමන්ත්‍රණය ගැන අසාධාරණයට ලක් වූ රේගු අධිකාරිවරයාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු වගකිවයුතු තැන්වලට ලිඛිතව දන්වා ඇත. මධ්‍යම අපහරණ අංශය ජාවාරම්කරුවන්ට මුදල් ගැරිය හැකි තෝතැන්නකි. මෙම රේගු අධිකාරිවරයා තමාට ඉහළින් කලින් සිටි පරිපාලන සේවා නිලධාරිවරයකු වූ නි​යෝජ්‍ය රේගු අධ්‍යක්ෂ චින්තක කුලරත්න සමග රේගුවේ දූෂිත ටෙන්ඩර් රැසක් වළකාලූයේ රටේ යහපතටය. එය දූෂිතයන්ට කොමිස් නැවතීමෙන් මරු පහරක් විය. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ චින්තක කුලරත්න සමග එක් වී මීට පෙර සිට කැබලි කර ලංකාවට එන වාහන එකලස් කර විකුණන්නට ටෙන්ඩර් කිරීමේ මාෆියාවට වැට බැන්දේ මෙම රේගු අධිකාරිවරයාය. එකලස් කරන වාහන අනතුරක දී විශාල විනාශයක් ගෙනදිය හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දුන් වාර්තා මත පදනම්ව ටෙන්ඩර් කිරීම මොවුන් නවතා ලූහ. මේ නිසා එතෙක් ජාවාරම් කළ අයට මෙය මරු පහරක් විය. එතනෝල් ජාවාරම්කරුට ටෙන්ඩර් කර දෙන්නට ගිය බස් රථයක් පොලිස් දෙපාර්තමේන්තුවට ටෙන්ඩර් කර දීමට මැදිහත් වූ බව කියා මෙම රේගු අධිකාරිවරයා ඉහළ නිලධාරීන්ගේ උදහසට ලක්ව සිටියේය. වරායේ අයිතිකරුවන් නොමැතිව ඇති දහස් ගණනක් වූ කන්ටේනර් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ අනුමැතිය ගෙන වෙනමම තැනක් තෝරාගෙන එකින් එකට පරීක්ෂා කර රාජසන්තක කරන්නට හා විනාශ කරන්නට සූදානම් වෙද්දී මෙම රේගු අධිකාරිට එරෙහිව බලවේග ක්‍රියාත්මක විය. දූෂිත රේගු නිලධාරීන් විසින් මෙතෙක් වරායේ ඇති රාජසන්තක නොකළ කන්ටේනර් පවා විකුණා කොමිස් ලබන ජාවාරමකට ද එරෙහිවූයේ මෙම නිලධාරියා බව ඉහළ නිලධාරීන් දන්නෝ දනිති. දැන් කළ යුත්තේ දූෂිත නිලධාරීන්ගේ කුමන්ත්‍රණවලට යට නොවී නීතිය ක්‍රියාත්මක කරන්නට හැකි නිලධාරීන් රැක බලාගත හැකි ප්‍රධානියකු හෝ පත්කරගැනීමය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..