brand logo

ආනයනික රසායන ද්‍රව්‍ය ආරක්ෂක අංශවල අධීක්ෂණයට

01 June 2019

මෙරට ආනයනය කරන සියලුම රසායනික ද්‍රව්‍යයන් ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක අංශවල අධීක්ෂණය යටතේ විමර්ශනයට ලක්කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සති අග අරුණට අනාවරණය කළේය. සිරියාවේ අයි.එස්. ත්‍රස්තයන් ඇතුළු ලොව සිටින ත්‍රස්ත සංවිධාන රසායනික අවි ප්‍රහාර එල්ල කරන කාලවකවානුවක ශ්‍රී ලංකාවට ගෙන්වන රසායනික ද්‍රව්‍ය ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානයක් නොමැති බව අනාවරණය වීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත. රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සඳහා බලපත්‍ර ලබාදීම හා අධීක්ෂණය කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් යටතේ සිදු කෙරුණ අතර මේ වසරේ සිට එය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ඇත. ශ්‍රී ලංකාවේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය රසායනික ද්‍රව්‍ය පරීක්ෂා කරන නිසි බලධාරියා වන නමුත් තවමත් එම අධිකාරිය වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතී. මෙරටදී වැඩිපුර අලෙවි වන රසායනික ද්‍රව්‍ය 37ක් මෙසේ ආනයනයට කටයුතු කෙරේ. රසායනික තර්ජනයක් එල්ල කිරීමේ අවදානමක් තිබෙන බවට හඳුනාගෙන ඇති ‘ට්‍රයිඑතනෝල් ඇමයින් රසායනය වසරකට ටොන් ගණනක් මෙරටට ආනයනය කරන බවද හෙළි වී ඇත. රූපලාවණ්‍ය ද්‍රව්‍ය, සිමෙන්ති හා තවත් නිෂ්පාදන කිහිපයකටත් මෙම රසායන යොදා ගැනෙන අතර ඉහත ජාතික අධිකාරිය ඒ ගැන නිරීක්ෂණය කරයි. මෙම රසායනික ද්‍රව්‍ය නීතිවිරෝධී ක්‍රියා සඳහා යොදා ගැනෙනවාද යන්න සනාථ කිරීමට මෙතෙක් නිසි විමර්ශනයක් සිදුවී නැත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..