brand logo

ආනයනික පළතුරු මිල ඉහළට

02 June 2022

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු දෙගුණ වෙයි

වැට් බදු ඉහළ නැංවීම හා නව බදු සංශෝධන හේතුවෙන් ආනයනික පළතුරුවල සිල්ලර මිල ගණන් ඉහළ දැමීමට සිදුව ඇති බව පිටකොටුව ආශ්‍රිත වෙළෙඳුන් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඇපල් ගෙඩියක මිල රුපියල් 200 ඉක්මවා ඇති අතර දොඩම් ගෙඩියක මිල රුපියල් 120ක් සහ මිදි කිලෝවක් රුපියල් 1500 දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 8ක්ව පැවති වැට් අනුපාතය සියයට 12ක් දක්වා ඉහළ දැමීම සිදු වූ අතර වැඩි කළ බදු සියලු භාණ්ඩ හා සේවා මත මේ වනවිට ක්‍රියාත්මකයි. මේ අතර ආනයන පාලනය කර තිබූ කේත 369කට අදාළ භාණ්ඩ සඳහාද බලපත්‍ර සීමාව ඉවත් කර ඇති අතර නව ක්‍රමවේදයට අනුව කිරි, යෝගට්, බටර්, චීස්, රටඉඳි, දොඩම්, මිදි හා ඇපල් ඇතුළු භාණ්ඩ වර්ග 369ක් වර්තමානයේ පවතින නීති රීතිවලට අනූකූලව ආනයනය කිරීමට හැකියාව පවතී. එම ලැයිස්තුවට චොකලට් සහ කොකෝවා අඩංගු ආහාර, සීරියල්, පලතුරු යුෂ, පානීය ජලය සහ මධ්‍යසාර නොවන පාන වර්ග, සුවඳ විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය, පාවහන් හා හිස්වැසුම්, සෙරමික් පිඟන් භාණ්ඩ, වීදුරු භාණ්ඩ, නාන කාමර උපාංග, වායු සමීකරණ හා ශීතකරණ, ඉලෙක්ට්‍රොනික් ගෘහභාණ්ඩ, සියලුම වර්ගයේ ස්ථාවර සහ ජංගම දුරකථන, සංගීත භාණ්ඩ, කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු ඇතුළත් ය.නමුත් එම භාණ්ඩ සඳහා අයකරන ආනයනික බදු රේගු බදු සහ අධිභාර සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දමා ඇත. ආනයනික යෝගට් සඳහා කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 1000ක වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 2000ක් දක්වාත්, ආනයනික චීස් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ බද්ද රුපියල් 600 දක්වාත්, දොඩම් කිලෝග්‍රෑම් 1ක් සඳහා පැවති බද්ද රුපියල් 600 දක්වාත්, මිදි කිලෝග්‍රෑම් එකක් සඳහා පැවති බද්ද රුපියල් 600ක් දක්වාත් ඉහළ නංවා ඇත. නව සංශෝධනය මේ වනවිට පිටකොටුවේ වෙළෙඳසැල්වල පළතුරු ඇතුළු භාණ්ඩ මිලට දැඩි බලපෑම් එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
 

More News..