brand logo

ආදරේ රාමු කරන්න බැහැ

15 November 2022

මේ දවස්වල සිනමා නිර්මාණ රැසක් තිරගත වෙනවා. ඒ අතරේ තරුණ අධ්‍යක්ෂවරයෙක් වන වාසව බදුගේ අධ්‍යක්ෂණය කරන ලද ‘ආදරණීය ප්‍රාර්ථනා’ චිත්‍රපටයත් ප්‍රේක්ෂකයන්ට තිළිණ කර අවසන්. ආදරණීය ප්‍රාර්ථනාහි චරිත මවන්නේ ශනුද්‍රි ප්‍රියසාද්, නෙත්මි රොෂෙල් සමග රාහුල් වරාවිටගේ. රාහුල් කියන්නේ මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම් තුළින් ප්‍රේක්ෂකයන්ට සමීප වුණු රුවක්. ඔහුටම අනන්‍ය වූ රුව නිසාම බොහෝ දෙනෙක් රාහුල් ගැන දැන ගන්නට කැමතියි. අද මේ සොඳුරු කතාබහ රාහුල් සමග... මුලින්ම ඔබේ විස්තර ටිකක් කිව්වොත්? මගේ උපන් ගම කොළඹ. පාසල් ගියේ කොළඹ රාජකීය විද්‍යාලයට. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි. කවදා හරි දවසක කලාවට සම්බන්ධ වෙන්නද කැමැත්ත තිබුණේ? ඇත්තටම එහෙම සිහිනයක් තිබ්බේ නැහැ.පොඩි කාලේ ඉඳන්ම ආසයි චිත්‍ර අඳින්න. හැබැයි කලාවෙන් ඉදිරියට එන්න ඕනේ රඟපාන්න ඕනේ කියන ආසාවක් නම් ලොකුවට තිබ්බේ නැහැ. අහම්බෙන්මයි කලාවට ආවේ. ඒ අවස්ථාව උදා වෙන්නේ කොහොමද... මගේ උසස් අධ්‍යාපන කටයුතුවලට මම ඔස්ට්‍රේලියාවට ගියා.. එහෙදි මට කලාවට සම්බන්ධ යාළුවෙක් මුණ ගැහුණා. එයා තමයි මට කතා කළේ මියුසික් වීඩියෝ එකක් කරමු කියලා. ඒකත් මම මුලින්ම බැහැ කිව්වා. කොහොම හරි පස්සේ ඒක කළා. ඒකත් එක්ක තමයි කලාවට මම ආවේ. හිතලා ආව ගමනක් නෙවෙයි. නමුත් ඊට පස්සේ මට වෙළෙඳ දැන්වීම් රැසකට ආරාධනා ආවා. මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට ගිය මියුසික් වීඩියෝ එක මොකක්ද? ටෙහාන් පෙරේරාගේ ‘උණුහුම 2‘ ගීතයට 2014 දී රංගනයෙන් එකතු වෙනවා. ඒ ගීතයෙන් තමයි මාව ගොඩක් අය හඳුනා ගන්නේ. මේ දවස්වල තිරගත වෙන්නේ ඔබේ පළමු සිනමා නිර්මාණයද? නැහැ. මේක මගේ දෙවැනි චිත්‍රපටය. හැබැයි ‘ආදරණීය ප්‍රර්ථනා’ තුළින් තමයි මම ප්‍රධාන චරිතයක් කරන්නේ. මොකක්ද පළමු චිත්‍රපටය? මගේ මාමා ප්‍රීතිරාජ් වීරරත්න කරපු චිත්‍රපටයක්. ඒ කියන්නේ ඉරාජ් ඔයාගේ සහෝදරයෙක්.. ඔව්. ඉරාජ් මගේ සහෝදරයෙක්. ඔබට සංගීත කලා පසුබිමක් තියෙනවා? එහෙම තිබ්බට මම ලොකුවට සම්බන්ධකමක් තිබ්බේ නැහැ. සින්දු කියන්න ආසයි. මට වඩා මගේ මල්ලි මියුසික් කරපු කෙනෙක්. රකිත් වරාවිටගේ. එයා තමයි මට ඉස්සෙල්ලා වෙළෙඳ දැන්වීම්වල හිටියේ. එයාගේ ඒ කාලයේ (2012) ජනප්‍රිය වුණු සින්දු තිබුණා ‘සිත බැඳි කුමරි’, ‘කාගේ කවුදෝ’ වගේ ගීත ගායනා කළා. ‘ආදරණීය ප්‍රාර්ථනා’ චිත්‍රපටයට ඇරයුම් ලැබෙන්නේ කොහොමද... මගේ උපාධිය අවසන් කරලා ලංකාවට ඇවිත් ඉන්න කොට මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ වාසව බඳුගේ තමයි මට ආරාධනා කරන්නේ චිත්‍රපටයක් කරන්න යනවා එහි ප්‍රධාන චරිතය කරන්න කියලා. මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර... ලංකාවේ තිරගත වෙන්න කලින් විදෙස් තිරගතවීම් කිහිපයක්ම සිදුවුණා. ඒ හරහා හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබුණා. මම අලුත් කෙනෙක් නිසා ඒ නිසා බොහෝ අය මාව දිරිමත් කරලා පණිවුඩ එවලා තියෙනවා. ලංකාවේ තිරගත වෙන්න පටන් ගත්තේ මේ නොවැම්බර් 4 වැනිදා ඉඳන්. ඒ නිසා ලංකාවේ ප්‍රතිචාර තවම ලැබෙමින් පවතිනවා. නව නිර්මාණවලට ඇරයුම් ලැබුණද? ආරාධනා කිහිපයක් ඇවිත් තියෙනවා. නමුත් තවම නිශ්චිතව කියන්න තරම් නිර්මාණයක් නැහැ. ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයේදී ලැබූ අමතක නොවන අත්දැකීම් ගැන කිව්වොත්... අපි ඔක්කොම අලුත් කණ්ඩායමක්. ඒ වගේම පොඩි කණ්ඩායමක්. ශනුද්‍රි සහ නෙත්මි නම් මේ වෙද්දී ක්ෂේත්‍රයේ වැඩ කරන අය නිසා ඒ අයට මට වඩා අත්දැකීම් තියෙනවා. ඒ නිසා ඒ අයගෙන් මමත් අත්දැකීම් ලැබුවා. ටෙලි නාට්‍යයවලට කැමති නැද්ද? ඇරයුම් නම් බොහොමයක් ලැබෙනවා. මම මෙගා නාට්‍යවලට නම් කැමති කෙනෙක් නෙවෙයි. කෙටි එපිසෝඩ් ප්‍රමාණයක් තියෙන හොඳ පිටපතක් ලැබුණොත් අනිවාර්යෙන්ම කරනවා. රාහුල් ආදරවන්තයෙක්ද? හැමදාම ආදරවන්තයෙක් තමයි. එක්කෙනෙක්ට කියලා මගේ විශේෂ ආදරයක් නැහැ. ඉස්සෙල්ලම ආදරේ මගේ අම්මට තාත්තට. හැමෝත් එක්කම ආදරෙන් ඉන්නවා. ක්ෂේත්‍රයේ කෙනෙක්ව ඉදිරියේදී තෝරා ගනීද? ඒක දැන්ම කියන්න බැහැ. අපිට ඉස්සෙල්ලම හම්බෙන විදියට තමයි. මොන ක්ෂේත්‍රයේ වුණත් ප්‍රශ්නයක් නැහැ. ආදරේ කියන එක රාමු කරන්න බැහැනේ. ඒක ඉතින් ලැබෙන විදිය තමයි. ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මොනවගේ දෙයක්ද? ආදරෙන් කියන්න තියෙන්නේ ආදරණීය ප්‍රාර්ථනා නරඹන්න කියලා. ඒ අය මගේ රංගනය පිළිගන්නේ කොහොමද කියන එක දැන ගන්න මම ආසාවෙන් ඉන්නවා. ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරය මම සතුටින් බාර ගන්න සූදානමින් ඉන්න කෙනෙක්. මොකද මම අලුත් කෙනෙක්. අනුෂා රණසිංහ
 

More News..