brand logo

ආදරේට මං හරි පෙරේතයි

20 February 2021

ඇන්තනී පවුලේ පුංචි සුරංගනාවිය එයාගෙ පළමු උපන්දිනය සැමරුවා. සකී ආරන්‍යා මිචෙලා ඇන්තනී' ඇය තමයි ඇන්තනී පවුලේ පළමු මිනිබිරිය. ඉතින් අම්මා අප්පච්චිගේ කුලුඳුල් දරුවා විදියට ඇයට ලැබුණ ආදරය, වරප්‍රසාද වගේම පළමු මිනිබිරිය ලෙසත් ඇයට ලැබෙන ආදරයෙ සීමා මායිම් නෑ. ඇන්තනී පවුලේ දරුවො හරිම එකමුතුයි. හරිම ආදරණීයයි. අප්පච්චි එයාලගෙ ලෝකෙ වීරයා. එහෙම තමයි මේ දරුවො තුන්දෙනාම කටපුරා කියන්නේ. අම්මා තමයි ඒ දරුවන්ගේ ආද‍රයේ උල්පත. අක්කා මලෝ තුන්දෙනාගෙ සහෝදර බැඳීම ගැන අපි අමුතුවෙන් කතා කරන්න ඕනෙ නෑ. ඒත් නෑනලාගෙ එකමුතුව ගැන නම් කියන්නම ඕනෑ. දැන් අක්කලා මල්ලිලාට වඩා කිට්ටු නෑනලා එක්ක. තුන්දෙනා අක්කලා නංගිලා කියලා හිතෙන වාර අනන්තයි. අම්මගෙ තාත්තගෙ පෙනුම විතරක් නෙමෙයි කුසලතාත් මේ දරුවන්ට දෙවියො ලෝබ නැතුව දීලා තියෙනවා. ඒ නිසා මාධවී, අකිල, සජිත රංගන, ගායන විතරක් නෙමෙයි නිවේදන ක්ෂේත්‍රයෙනුත් කිසිවකුට නොදෙවැනි වෙමින් තමන්ගෙ ස්ථාවරය එහෙමත් නැත්නම් තැන හදා ගන්නවා. එක එකිනෙකාට නොදෙවෙනි කුසලතා උරුම කර ගත් මේ දරුවන්ගෙ අනාගතය ගැන සැකයක් නෑ. අම්මගේ රුව උපතින් උරුම කර ගත් ආරන්‍යා දෝණිට අප්පගෙ සනුහරේ දක්ෂකමත් අඩුවක් නැතුවම ලැබේවි. කොහොම වුණත් ආත්තම්මා, සීයා තාත්තා, නැන්දා, මාමා, චූටි අප්පච්චි, චූටි අම්මා අතරේ හරි ලස්සනට ආදරේ විඳින ආරන්‍යා හරිම වාසනාවන්ත දරුවෙක්. පුංචි ආරන්‍යා එයාගෙ පළමුවැනි උපන්දිනය සමරද්දි අම්මා අප්පච්චි, මාමා නැන්දා, චූටි අප්පච්චි, චූටි අම්මා එයාලගෙ දෙවැනි විවාහ සංවත්සරය සැමරුවා. නපුරු කොරෝනා වසංගතය සීමා මායිම් පැනවූයේ නැත්නම් ඇන්තනී පවුලේ නෑදෑයො, යාළු හිතමිතුරන්ගෙන් මේ පුංචි උත්සවය අතුරු සිදුරු නැති වන බව විශ්වාසයි. කොයි තරම් බාධා ආවත් බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී දූ පැටියගේ උපන්දිනය හරි ලස්සනට සංවිධානය කරලා තිබුණා. මාධවී නැන්දා තමයි සංවිධාන කටයුතු කරට අරගෙන කරලා තියෙන්නේ. ආරන්‍යාගේ අප්පච්චි ඒ කියන්නේ අකිල කියන්නේ පවුලේ උත්සවයක් නම් අක්කා තමයි මුල් තැන් ගන්නේ කියලා. ආරන්‍යා දුවට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන ගමන් එයාගෙ අම්මා අප්පච්චි, නැන්දා මාමා, චූටි අප්පච්චි, චූටි අම්මාට දෙවැනි විවාහ සංවත්සරයට සුබ පැතුම් ගෙන එමින් අපි ආරන්‍යාගේ අප්පච්චිව කතාවට අල්ලා ගත්තා. ජීවිතේ ආයෙමත් අලුතින් ලියැවෙනවා. දෝණි වගේම එයාගෙ අම්මා මගේ ජීවිතේ හරි ලස්සනට හැඩ කරනවා. ඒමිට ආදරය කරපු කාලේ මට හිතුණෙ මේ තමයි ජීවිතේ ලස්සනම කාලේ කියලා. ඒත් දැන් මට හිතෙනවා විවාහ වුණාට පස්සෙ තමයි ලස්සනම කාලේ උදා ‍වුණේ කියලා. ඉස්සරටත් වැඩිය දැන් මම මගේ බිරිඳට ආදරෙයි. ආරන්‍යා දුව කාටද වැඩිපුර කිට්ටු තාත්තට නෙමේලු... එයා වැඩි කාලයක් ගත කරන්නෙ අම්මා එක්ක. එතැනින් අදහස් වෙන්නෙ නෑ ඇය මට ආදරේ නෑ කියලා. ආරන්‍යා මට ආදරෙයි. ඒත් ප්‍රමාණාත්මකව අම්මට වැඩියි කියලා හිතෙනවා. මම ආදරයට පෙරේතයි. දුවගේ ආදරය වුණත් අම්මාට වැඩියි කියලා දැනෙන කොට මම කොහොම හරි එයා කැමති විදියට සෙල්ලම් කරලා අම්මගේ ආදරේ අතික්‍රමණය කරනවා. ඒ මොහොතට ඇය මගේ උපක්‍රමයට හසු වෙනවා. ඒකත් ඉතින් සැනසෙන්න මට ඇති. ආරන්‍යා ඇන්තනී පවුලේ දරුවන්ගේ පළමු සංවත්සර තෑග්ග වීම ගැන ඔහු ඉන්නේ ආඩම්බරෙන්... ආරන්‍යා තමයි අපි හයදෙනාගෙ විවාහ සංවත්සර තෑග්ග වුණේ. ඒක හරි සොඳුරු මතක සටහනක්. ඒ වගේම පවුලේ පළමුවැනි දරුවා. ඇය හරි වාසනාවන්තියක්. ඇයට ආදරේ නම් කිසිම අඩුවක් නෑ. අපි කාගෙත් හුරතලිය ඇය තමයි.මම දැනගෙන හිටියා පළමු දරුවාට වරප්‍රසාද ‍ගොඩයි කියලා. මොකද අපේ අක්කා තමයි ඒ කාලේ ඒ වරප්‍රසාද ලබා ගත්තේ. ඇය තමයි පළමු දරුවා. හැබැයි මගේ අක්කා ඇයට ලැබුණ ආදරේ හරි ලස්සනට හැමෝටම බෙදලා දුන්නා. අදටත් බෙදලා දෙනවා. ඇය තමයි අපි හයදෙනා එකට ගැට ගහගෙන ඉන්න නූල. මගෙ දුවත් කවදා හරි එයාගෙ නැන්දා වගේ නංගිලා මල්ලිලා අතරෙ ආදරය බෙදලා දේවි. නැන්දා ලේලි ප්‍රශ්නෙට වඩා දරුණුයි නෑනලා නෑනලා අතර ප්‍රශ්න. අකිලගෙ ගෙදර නම් පේන හැටියට ප්‍රශ්න නෑ කියලා තමයි කියන්නේ... මම මුලිනුත් කිව්වෙ අපෙ අක්කා හරි ලස්සනට වැඩේ අල්ලගෙන යනවා. ඒ නිසා මල්ලියි, මමයි සැනසීමෙන් ඉන්නවා.කොරෝනා එක්ක අපේ මුළු පවුලම එකට හිටියේ මහ ගෙදර. දැන් අත්තම්මටයි, සීයා තාත්තටයි මිනිබිරී නැතුව ඉන්න බෑලුනේ. ඒ නිසා අම්මා අප්පච්චිගෙ සතුට වෙනුවෙන් අපි මහගෙදර ඉන්නේ. මේ ආරන්‍යාගේ හුරතලේ තමා අකිලගේ එකම සතුට... අපරාදෙ කියන්න බෑ හුරතලේ නම් අඩුවක් නෑ. හැමෝම වහ වැටිලා ඉන්නේ ඒකනේ. තාම කතා කරගන්න බෑ. අම්මාට අම්මා කියනවා. ආත්තම්මට අම්මම්මා කියනවා. මට අප්පච්චි කියන්න බෑ. අප්පා කියන්නේ. අපෙ අප්පච්චිටත් අප්පා. මල්ලිටත් අප්පා. අක්කට කියන්නේ අක්කා කියලා. අපි කියන දේම තමයි කියන්නේ. එයාගෙ භාෂාව දන්නෙ නැති වුණාට අපිට දැනෙනවා මොනවද කියන්නේ කියලා. එයත් එක්ක ගෙවන කාලය හරිම සුන්දරයි. තව ටික දවසකින් සෙල්ලම් කරන්න මල්ලියෙකුත් ඉල්ලයි කිව්වාම අකිලට ලැජ්ජා හිතුණා... ඔව්.. ඔව්... ආරන්‍යාට තනියම ඉන්න බැනේ. මුලින්ම නැන්දටයි, චූටි බාප්පටයි ඒ අවස්ථාව දෙමුකෝ. එහෙමනේ හොඳ.
 

More News..